1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත මේ වසර අවසානයට පෙර අහෝසි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පනත අහෝසි කිරීමෙන් අනතුරුව සංවිධානාත්මක අපරාධ පාලනය කිරීම සඳහා අවශ්‍ය නව නීතිමය ප්‍රතිපාදන සහ සංශෝධන ඇතුළත් නව පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
1979 ජූලි 20 වැනිදා මුලින්ම හඳුන්වා දුන් මෙම පනත, දශක ගණනාවක් පුරා විවිධ විවේචන සහ සංශෝධනවලට ලක්වූවකි. අවසන් වරට 2022 මාර්තු මස 29 වැනිදා 2022 අංක 12 දරන පනත මගින් මෙහි සංශෝධන සිදුකර ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කෙරිණි.
රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නව නීති රාමුවක් සකස් කිරීම රජයේ මූලික අරමුණ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
















