ටෙස්ලා සමාගම සිය සුප්‍රසිද්ධ Model S සහ Model X මෝටර් රථ නිෂ්පාදනය නතර කර, ඒ වෙනුවට ‘Optimus’ නමැති මිනිස් රූපී (Humanoid) රොබෝවරුන් නිපදවීම සඳහා සිය ෆ්‍රීමොන්ට් (Fremont) කර්මාන්ත ශාලාව සූදානම් කරන බව නිවේදනය කර තිබේ.
ටෙස්ලා සමාගම එළඹෙන මැයි මස මුලදී සිය අවසන් Model S සහ Model X රථ නිෂ්පාදනය කර අවසන් කිරීමට නියමිතය. වසර 14ක් පුරා නිෂ්පාදනය වූ Model S සහ වසර 11ක් නිෂ්පාදනය වූ Model X රථ වෙනුවට, ජූලි මස අග හෝ අගෝස්තු මස වන විට Optimus රොබෝවරුන් නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට එලොන් මස්ක් සැලසුම් කර ඇත. මෑත කාලීනව මෙම රථවල අලෙවිය වාර්ෂිකව ඒකක 30,000 දක්වා පහත වැටීම මෙම තීරණයට ප්‍රධාන හේතුවක් වී තිබේ.
Optimus රොබෝවරයෙකු කොටස් 10,000කින් පමණ සමන්විත වන බැවින් ආරම්භක නිෂ්පාදන වේගය ඉතා මන්දගාමී වනු ඇති බව මස්ක් පවසා ඇත. මෙම රොබෝවරුන් මුලින්ම කර්මාන්ත ශාලාවල සරල කාර්යයන් සඳහා යොදවා පසුව ඔවුන්ගේ හැකියාවන් පුළුල් කිරීමට අපේක්ෂිතය. මීට අමතරව, ටෙක්සාස්හි දෙවන Optimus කර්මාන්ත ශාලාවක් ද ඉදිවෙමින් පවතින අතර එහි නිෂ්පාදන කටයුතු 2027 වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. තෙවන පරම්පරාවේ Optimus රොබෝවරයා එළිදැක්වීම ද මෙ වසරේ මැද භාගය දක්වා කල් දමා ඇති බව ටෙස්ලා සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.














