ඉතාමත් කුඩා වයසේ පසුවුවද මනරම් දළ යුගලක් සමඟින් අතිශය තේජාන්විත පෙනුමකින් යුත් තබ්බෝව ප්‍රදේශයේ වාසය කරන අහිංසක ඇත් පැටவෙකුගේ පාදයක් මාරක මද්දකට හසුවීමෙන් දැඩි ලෙස අසාද්‍ය වී තිබියදී වනජීවී නිලධාරීන් විසින් සාර්ථකව මුදාගෙන තිබේ.
නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ඉසුරු මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කඩිනමින් ක්‍රියාත්මක වෙමින්, ඇත් පැටවාගේ පාදයේ සිරවී තිබූ මාරක මද්ද කිසිදු උපද්‍රවයක් නොවන අයුරින් සාර්ථකව ගලවා ඉවත් කර ඇත. අනතුරුව තුවාල ලැබූ පාදයට අවශ්‍ය ප්‍රතිකාර සිදු කර විශේෂ බැංඩේජ් එකක් යොදා සුවපත් කිරීමට මෙම කණ්ඩායම කටයුතු කර තිබේ.
මෙම මද්ද කාලයත් සමඟ ඉවත් නොකළේ නම්, ඇත් පැටවාගේ ගමන් කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම දුර්වල වී, ආහාර හා ජලය සොයා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවකට පත්වනු ඇත. මීට අමතරව, තුවාලය තුළ උග්‍ර ආසාදන තත්ත්වයක් වර්ධනය වී අවසානයේ මෙම අහිංසක සතාට අත්වන්නට තිබූ මාරක ඉරණම වෛද්‍යවරුන්ගේ කාලෝචිත මැදිහත්වීම මත මෙලෙස වළකාගැනීමට හැකි විය.














