මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව, 2026 වසරේ දෙවන කාර්තුව අවසන් වන විට මෙරට සමස්ත දළ රාජ්‍ය ණය ප්‍රමාණය සහ විදේශ ණය තොගය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
වාර්තාවට අනුව, 2026 පළමු කාර්තුව අවසානයේ (මාර්තු 31) ඇමෙරිකානු ඩොලර් මිලියන 37,468ක්ව පැවති රජයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය, දෙවන කාර්තුව අවසන් වන විට (ජූනි 30) ඇමෙරිකානු ඩොලර් මිලියන 38,008ක් දක්වා ඩොලර් මිලියන 540කින් ඉහළ ගොස් ඇත. දේශීය මුදලින් ගණනය කිරීමේදී සමස්ත දළ රාජ්‍ය ණය ප්‍රමාණය මාර්තු මස පැවති රුපියල් බිලියන 32,233 සිට ජූනි මස අවසානය වන විට රුපියල් බිලියන 32,977ක් දක්වා රුපියල් බිලියන 744කින් වැඩි වී තිබේ.
අදාළ කාලසීමාව තුළ රජය විසින් ලබාගෙන ඇති මුළු දේශීය හා විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,997.1ක් වන අතර, ණය වාරික සහ පොලී ගෙවීම් (ණය සේවාකරණය) වෙනුවෙන් රුපියල් බිලියන 2,698.6ක් වැය කර ඇත. ඉන් රුපියල් බිලියන 257ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 804.3ක්) වැය කර ඇත්තේ විදේශ ණය සේවාකරණය සඳහාය. රජයේ විදේශ ණය සංයුතියෙන් 66ක්ම ඇමෙරිකානු ඩොලර්වලින් ලබාගෙන තිබීම සහ 22.3ක් පාවෙන පොලී අනුපාත යටතේ පැවතීම හේතුවෙන් ගෝලීය මූල්‍ය වෙළෙඳපොළේ වෙනස්වීම් මෙරට ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරන බව මෙම වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.














