තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස පත් වූ තලපති විජේ, සිය ධුරයේ බලය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රාන්ත සභාවේ බහුතර විශ්වාසය දිනා ගැනීමට සමත්ව තිබේ. අද (13) දින පැවති තමිල්නාඩු ප්‍රාන්ත සභා ඡන්ද විමසීමේදී ඡන්ද 122ක බහුතර බලයක් ලබා ගැනීමට ඔහුට හැකි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම ඡන්ද විමසීමේදී තලපති විජේට පක්ෂව ඡන්ද 144ක් ලැබී ඇති අතර, විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 22ක් පමණි. මන්ත්‍රීවරුන් 54 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බව ද වාර්තා වේ. ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී DMK සහ DMDK පක්ෂවල මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් ඇති අතර, PMK මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු සහ එක් BJP මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.















