තලාතුඔය, ඉඹුලේතැන්න ප්‍රදේශයේදී රූපවාහිනී ඇන්ටනාවකට ඇද තිබූ විදුලි රැහැනක් පෑගීමෙන් සිදුවූ විදුලිසැර වැදීමකින් 83 හැවිරිදි කාන්තාවක ඊයේ (28) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ. රූපවාහිනී ඇන්ටනාවට සම්බන්ධ කර තිබූ රැහැනක් බිම වැටී තිබී ඇති අතර, එය පෑගීමෙන් මෙම අනතුර සිදුව ඇති බව තලාතුඔය පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය කාන්තාව එම ප්‍රදේශයේම පදිංචිකාරියක වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. නිවෙස් තුළ විදුලි රැහැන් සහ ඇන්ටනා රැහැන් භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














