රිය අනතුරු අවම කිරීම සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් නුවරඑළිය දිස්ත්රික් ප්රධාන මෝටර් රථ පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් විසින් තලවකැලේ ප්රදේශය හරහා ධාවනය වන වාහන පරීක්ෂා කිරීමේ හදිසි මෙහෙයුමක් ක්රියාත්මක කරනු ලැබීය. නුවරඑළිය පොලිස් කොට්ඨාශ රථවාහන අංශයේ දායකත්වයෙන් සිදුකළ මෙම ක්ෂණික පරීක්ෂාවේදී, ප්රදේශය තුළ ධාවනය වූ බස් රථ, මෝටර් රථ, වෑන්, ලොරි සහ යතුරුපැදි ඇතුළු වාහන රැසක් දැඩි නිරීක්ෂණයකට ලක් කෙරිණි.
මෙම පුළුල් පරීක්ෂණයේදී හෙළි වූයේ නීතිමය මට්ටමෙන් නියමිත ප්රමිතීන් උල්ලංඝනය කරමින් සහ විවිධ කාර්මික අඩුපාඩු සහිතව ධාවනය කළ වාහන රැසක් මාර්ගයට එකතු වී ඇති බවයි. විශේෂයෙන්ම මගී ප්රවාහනයට යොදාගත් පෞද්ගලික බස් රථ සහ ත්රීරෝද රථ ඇතුළු වාහන 28ක් ධාවනයට සම්පූර්ණයෙන්ම නුසුදුසු තත්ත්වයේ පවතින බවට තහවුරු කරගත් අතර, වහාම ක්රියාත්මක වන පරිදි එම වාහනවල ආදායම් බලපත්ර තාවකාලිකව තම භාරයට ගැනීමට මෝටර් රථ පරීක්ෂකවරුන් පියවර ගත්තේය.
අඩුපාඩු නිවැරදි කර යළිත් නිසි මෝටර් රථ පරීක්ෂාවකට ඉදිරිපත් කර තහවුරු කරගන්නා තුරු අදාළ වාහනවල ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට නියමිතය. ඉදිරියේදීත් මගී ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දිස්ත්රික්කය පුරා මෙවැනි දැඩි නීතිමය පියවර අඛණ්ඩව ක්රියාත්මක කරන බවත්, ප්රමිතියෙන් තොර වාහන පවත්වාගෙන යන පාර්ශ්වයන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කරන බවත් බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කර සිටිති.














