‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ බදුල්ල දිස්ත්‍රික්කයේ, මීගහකිවුල ප්‍රදේශයේ පිහිටි තල්දෙන මහා වාරි ව්‍යාපෘතියේ මූලික අදියරේ ස්ථීර ප්‍රතිසංස්කරණ කටයුතු අද (18) නිල වශයෙන් ආරම්භ කෙරිණි. වත්මන් රජය මඟින් රුපියල් ලක්ෂ 1,227ක දැවැන්ත මූල්‍ය පිරිවැයක් වෙන් කරමින් මෙම මහා වාරි ව්‍යාපෘතිය ස්ථීර ලෙස යළි ගොඩනැඟීමේ කටයුතු මෙලෙස ක්‍රියාවට නංවා තිබේ. සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ස්ථාන කිහිපයකින් බිඳී ගොස් විනාශයට පත්ව තිබූ මෙම වාරි පද්ධතිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රදේශයේ ගොවි ජනතාව සහ ත්‍රිවිධ හමුදාව එක්ව මීට පෙර තාවකාලිකව ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබුණි.
එම තාවකාලික ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, ගොවීන්ගේ වගා කටයුතු අඩාල නොවන සේ මහා ශ්‍රම මෙහෙයුමක් දියත් කරමින් 2026 වසරේ ජනවාරි මාසයේ සිට නැවත දියවර නිකුත් කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබුණි. මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවැති මෙම ස්ථීර ප්‍රතිසංස්කරණ ආරම්භක අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල සහ සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපති ජයලත් එදිරිමාන්න යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ද, බදුල්ල දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්, මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්වරිය සහ ප්‍රදේශයේ ගොවි මහත්ම මහත්මීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
අක්කර 350ක භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් සෘජු ගොවි පවුල් 415ක් වගා කටයුතුවල නිරත වන තල්දෙන මහා වාරි ව්‍යාපෘතිය මෙලෙස ප්‍රමිතිගතව යථා තත්ත්වයට පත් කිරීම මඟින් ප්‍රදේශයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගමනයට දිගුකාලීන සහ ස්ථාවර සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ස්වාභාවික විපත් හේතුවෙන් කඩාකප්පල් වන ග්‍රාමීය ආර්ථිකය සහ වාරි පද්ධතීන් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම ජාතික ආහාර නිෂ්පාදනය ස්ථාවරව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් බව කෘෂිකාර්මික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව, මෙම මහා වාරි ව්‍යාපෘතියේ ඉදිරි ඉදිකිරීම් කටයුතු නියමිත කාලරාමුව තුළ නිම කර ගොවි ජනතාව වෙත පවරා දීමට වාරිමාර්ග ඉංජිනේරු අංශ සැලසුම් කර ඇති බව වාර්‌තා වේ.
















