27 April 2024
#දේශීය

රට බංකොලොත් කළ කපුටන් ඇමරිකාවට අරගල කළ තරුණයින් හිරගෙදරට – විපක්ෂනායක

රට බංකොලොත් කරපු කපුටන් නිදහසේ ඇමරිකාවට යමින් සිටින බවත් මේ රටේ පොදුජන අරගලයේ නිරත වු තරුණ පිරිස් හිරගෙදරට දක්කමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද(10) කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ආසනයේ පැවැති සමගි ජනබලවේගයේ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි.

වර්තමාන ජනාධිපතිවරයා රාජපක්ෂලාට ණය වුණාට සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය රාජපක්ෂලාට ණය නැතැයි විපක්ෂ නායකවරයා පැවසීය.

රාජපක්ෂලාගේ හෝ ආණ්ඩුවේ ණය ගෙවන්න සමගි ජන බලවේගයට අවශ්‍ය නැති බව පැවසූ හෙතෙම සමගි ජන බලවේගයට ඇත්තේ මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාවගේ ණය ගෙවා ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීම පමණක් බවද පැවසීය.

එදා මේ රටේ මර්දනය ආරම්භ කළේ අරලියගහ මන්දිරයට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් එක්වුණු මැර කණ්ඩායම බව සිහිපත් කළ ප්‍රේමදාස මහතා ඔවුන් සියලු දෙනා ද නිදැල්ලේ සිටින බව ද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ලංකාවේ අලුත් ජන මතයක් නිර්මාණය විය යුතු බව ප්‍රකාශ කරද්දි ආණ්ඩුව පොහොට්ටුවේ 134ක ජනමතයට හිස නමා ඇතැයි විපක්ෂනායකවරයා පැවසීය.

රටේ සමස්ත ජනතාව එක්වෙමින් එක් වෙමින් පොදුජන අරගලයක් හරහා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පන්නා දැමූ බව පැවසූ ඒ් මහතා එහෙත් ඒ වෙනුවට පත්වුණේ පොහොට්ටුව නියෝජනය කරන ජනාධිපතිවරයෙක් බවද පැවසීය.

එබැවින් වර්තමාන ජනාධිපතිවරයා පොහොට්ටුවට යුතුකම් ඉෂ්ට කරමින් සිටින බවත්,ජනතාවට ඉටු කළ යුතු යුතුකම් අමතක කොට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජපක්ෂලා කියන විදිහට කුලියට කහින,රාජපක්ෂලාගේ උපදෙස් අනුව කටයුතු කරන උදවිය අතීතයේ විපක්ෂයේ සිටින්නට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා අද එවැනි අය ඇතැයි සිතනවා නම් එය රාජපක්ෂලාට සිදුවී ඇති වැරදීමක් බව ද පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *