27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුවේ පවතින විකෘතිය ප්‍රකෘතියක් කළ යුතුයි – විපක්ෂනායක සජිත්

වත්මන් පාර්ලිමේන්තුවේ පවතින විකෘතිය ප්‍රකෘතියක් කළ යුතු බවත් ඒ සඳහා වහාම ඉවත් කර මැතිවරණයක් පවත්වා රට ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේ දී අයවැය තෙවනවර විවාදයට එක්වෙමිනි.

ජනාධිපතිවරයා විසින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ කියූ ප්‍රකාශය ගැන පුදුම නොවන බවත් ඔහු මැතිවරණයකින් පත් නොවී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට ඇවිත්, හිටපු ජනාධිපතිගේ කැමැත්ත මත අගමැති වී ඉන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත මත ජනාධිපතිවරයකු වූ අයකු නිසා ඔහුට මැතිවරණයක ඇති වටිනාකම නොතේරෙන බවත් ජනතාවගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් ඔහුට විශ්වාසයක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඔහුගේ කතා සම්බන්ධයෙන් තැකීමක් නොකරන ලෙස යි.

මන්දයත් 69 ලක්ෂයක මනාප අරගෙන ජනාධිපති වී, 68 ලක්ෂයක මනාප අරගෙන අගමැති වී සහ පාර්ලිමේන්තුවේ මුදල් ඇමති වූ පුද්ගලයා ඇතුළු පිරිසකට එකපාර උන්හිටි තැන් පවා අමතක වී ගෙදර යාමට සිදු වූයේ මැතිවරණය නිසා නොව ජනතාව විසින් ඔවුන් එලවා දැමූ නිසා බවත් එබැවින් වත්මන් ජනාධිපතිවරයා ද ඒ බව අමතක නොකළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කලේය.

ජනාධිපතිවරයා මැතිවරණයක් පවත්වන්නේ නැහැ කියූ විට සභාවේ සිටි වහල්ලු කොටසක් ඊට සහයෝගය පළ කරමින් ඔල්වරසන් දුන් බවත් මහජනයාගේ ඡන්දයෙන් පත් වූ අයකු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය වන අවස්ථාවක එසේ ඔල්වරසන් දීම අනුමත නොකරන බවත් පැවසූ හෙතෙම කියා සිටියේ එක් වහල්භාවයකින් තවත් වහල්භාවයකට පාර්ලිමේන්තුවේ ඇතැම් අය පත්ව ඇති බව යි. ජනාධිපතිවරයාගේ කතාවට වහල්ලු කිහිප දෙනකු අත්පුඩි ගැහුවාට රටේ ලක්ෂ 220ක් වූ ජනතාව අතිශය දුක් වූ බවත් එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන මහජන බලවේගයක් නුදුරේදීම නිර්මාණය වන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් පාර්ලිමේන්තුවේ පවතින විකෘතිය ප්‍රකෘතියක් කළ යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය අගයනවා යැයි කියන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඊයේ කියූ ඒ මතය වහාම ඉවත් කර මැතිවරණයක් පවත්වා රට ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

 වත්මන් ජනාධිපතිවරයා විසින් කෙළෙහිගුණ දන්නා අයකු නම් අරගලයට ස්තූතිවන්ත විය යුතු බවත් ඔහු ජනාධිපති වූයේ අරගලය නිසා බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සාමකාමී අරගලය හිංසනයක් බවට පත් කළේ මැයි 9 වැනි දා සිදු වූ ප්‍රහාරය නිසා බවත් පැවසීය. තමා කිසිදු ආකාරයක ප්‍රචණ්ඩත්වයක් අනුමත නොකරන බවත් එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ හිංසනයෙන් මිලේච්ඡත්වයෙන් තොරව පැවැති අරගලයට පහර දුන්නේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමෙන් පසුව බවය.

එසේ ම සාමකාමී පොදුජන අරගලය හදිසි නීතිය යොදා ආරක්ෂක අංශ යොදා මර්දනය කිරීමට උත්සාහ කරන්නේ නම් විපක්ෂයක් ලෙස ඊට එරෙහිව වන බවත් ඒ සදහා අවශ්‍ය නායකත්වය ලබා දීමට කටයුතු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ ආර්ථිකය විනාශ කළ රාජපක්ෂ පවුලට එරෙහිව ජනතාව නැගිටින එක කිසිදු බලවේගයකට නතර කළ නොහැකි බව යි. 

එසේ ම තමා මහින්ද රාජපක්ෂලාගේ අනුගාමිකයකු යැයි පැවසූ පුද්ගලයාට කියන්නට ඇත්තේ තමා මහින්දලාගේ අනුගාමිකයකු නම් මේ වන විට තමා විපක්ෂ නායකවරයා නොව ජනාධිපතිවරයා ලෙස පත්වී ඇති බවත් එම නිසා එවැනි බොරු ප්‍රචාරවලට තමන් ඇතුළු විපක්ෂය විනාශ කළ නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කිසිදු අවස්ථාවක රාජපක්ෂලාගේ අනුගාමිකයකු වී තම ප්‍රතිපත්ති සහ ආත්මය පාවා නොදෙන බව යි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *