27 April 2024
#දේශීය

මධ්‍යම පළාතේ ප්‍රථම රජයේ වැඩිහිටි නිවාසය විවෘත වෙයි

මධ්‍යම පළාත් සභාව යටතේ ස්ථාපනය කළ පළමු ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහන වන ‘සහනෝදය’ ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහන ඉකුත්දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ කොටුවේගෙදර ප්‍රදේශයේදි ඉකුත්දා විවෘත කෙරිණි.

මෙහි නේවාසික වැඩිහිටි කාන්තාවන් දසදෙනෙකු හා වැඩිහිටි පිරිමින් දස දෙනෙකුගෙන් යුක්තව මෙය ආරම්භ කිරීමට කටයුතු කෙරුණූ අතර පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක අරමුදල් මගින් රුපියල් මිලියන 18.8 ක න් මුදලක් මේ සඳහා වැය කොට තිබේ. මෙහි සියලු පරිපාලන කටයුතු පළාත් සමාජ සුබසාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ සිදු කරන අතර පැරණි වතු බංගලාවක් ප්‍රතිසංස්කරණය කර මෙම නිවහන ආරම්භකෙරුණි.

දෙපාර්තමේන්තුව අදාළ අත්‍යාවශ්‍ය ස්ථාවර වත්කම් මිලදී ගනු ලැබ ඇත්තේ 2021 වර්ෂයේදීය. පළාත තුළ ඇති වෙනත් ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන සතු අතිරික්ත පාරිභෝගික ද්‍රව්‍ය හා උපකරණද මෙහි භාවිතය සඳහා ලබා ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත. කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පුහුණුව හා නේවාසිකයන් සඳහා වූ ආහාර වට්ටෝරු සකස් කිරීමට අවශ්‍ය සහය ලබා ගෙන ඇත්තේ මාතලේ දිස්ත්‍රික් රෝහල වෙතිනි.

ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් නේවාසික වැඩිහිටියන් උදෙසා දානමය පුණ්‍යකර්මයක් ද සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට මාතලේ මහා නගර සභාවේ නගරාධිපති එස්. ප්‍රකාශ් මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේනදේණීය හා හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම යන මහත්වරුද, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාද, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩි.එම්.සී.සී.කේ. ගුණරත්න මහත්මියද ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *