27 April 2024
#සංවර්ධන

මදුරන්කුලිය – මහකුඹුක්කඩවල හරහා ආඩිගම දක්වා වූ මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් අවසන්

කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය, මහකුඹුක්කඩවල හරහා ආඩිගම දක්ව වූ මාර්ගයේ කිලෝ මීටර් 9.7 ක දුරක් පළමු අදියර යටතේ සංවර්ධන කටයුතු අවසන් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

එහි තවත් කිලෝ මීටර් 11.5 ක දුරක් දෙවන අදියර යටතේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගෙන ඇති බව හෙතෙම පැවසිය.

මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ සිදු කළ සංචාරයකදී පුත්තලම ජනතාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව සිදු කරනු ලැබුවකි.

පළමු අදියරේ ඉදිකිරීම් අවසන් කිරීමට රුපියල් මිලියන 222 ක මුදලක් වැය වී තිබේ. දෙවන අදියරේ ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 250 ක මුදලක් වෙන් කර තිබේ. මෙහි දෙවන අදියරේ ඉදිකිරීම් ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමට හැකිවනු ඇතැයි ඉංජිනේරුවරුන් විශ්වාසය පළ කරයි.

මෙම මාර්ගය ජාතික මහාමාර්ග පද්ධතියේ ඒ හා බී ශ්‍රේණියේ මාර්ග දෙකක් සම්බන්ධ කෙරෙනු ඇත. ඒ අනුව කොළඹ – පුත්තලම මාර්ගය හා හලාවත – ආණමඩුව මාර්ගය මේ හා සම්බන්ධ වනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *