27 April 2024
#දේශීය

ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කරනවා – ජනපති

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් ලෝකයට විවෘත කර, බලගතු ආසියාවක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කරමින් ශ්‍රී ලංකාව නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරිමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (14) පස්වරුවේ පැවති ජාතික ආරක්ෂක විද්‍යායතනයේ උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි.

ජනාධිපතිවරයා සඳහන් කළේ අපට හොඳ ආරක්ෂක පද්ධතියක් නැතිවුවහොත් අපේ අනාගතය විනාශ වී ලෝක තත්ත්වය සහ භූ දේශපාලනය ඉතා අයහපත් අතකට හැරෙන බවයි. එය රටකට යහපත් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් වශයෙන් 2030 ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානය යොමු කර තිබෙන බව ද පැවසීය.

ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම්. බී. එස්. රත්නායක, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනා විධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංජීවනී වීරසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *