27 April 2024
#දේශීය

රටේ ජනතාවගේ විශ්වාසය වඩා බලවත්ව දිනා ගැනීම ආණ්ඩුවට පුළුවන් – ඇමැති විමල්

ගෙවී ගිය වසර දෙක තුළ ආණ්ඩුවෙන් සිදුවූ අඩුපාඩු, වැරදි හා නොවිය යුතුව තිබූ දේවල් නිවැරදිව තේරුම් ගනිමින්, නිවැරදි තක්සේරුවක සිට කටයුතු කළහොත් ඉදිරි වසර තුන තුළ ජනතාවගේ විශ්වාසය බලවත්ව දිනාගැනීම ආණ්ඩුවට ඉටුකරගත නොහැකි දෙයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ(11) මොරටුව කටුබැද්දේ පිහිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පැවති කුඩා පරිමාණ ඇඟලුම් කර්මාන්තකරුවන් පිරිසක් සවිමත් කිරීම සඳහා මහන මැෂින් ලබාදීමේ වැඩසටහනකට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා ” කෙසේ වුවත් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ අපේ රජය මේ දෙවසරක ගමන පිළිබඳව ගැඹුරු ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් සිදු කරමින් සිටින මොහොතකයි මේ තමුන්නාන්සේලා අමතන්නේ. අපෙන් සිදු වූ වැරදි අඩුපාඩු හා නොවිය යුතුව තිබූ දේවල් මොනවාද, කියන එක හරියට තේරුම් අරන්, තක්සේරු කරලා ඉදිරියට ගියොත් මේ ඉදිරි වසර තුන තුළ මේ රටේ ජනතාවගේ විශ්වාසය වඩා බලවත්ව දිනාගැනීම ඉටුකරගත නොහැකි කරුණක් නොවෙයි. එතැනදී අපි අවංක විය යුතුයි. ජනතාව සිතන ආකාරය තේරුම් ගත යුතුයි. එහිදී අපි මහජනයාගේ අපේක්ෂාවන්ට මුල්තැන දී වැඩ කළ යුතුයි. එසේ නොවුණහොත් අපි කොයිතරම් අතීතය දෙස හැරී බලා නිවැරදි කියවීමක් සිදු කර ගත්තත් භාවිතයේදී අපට ජය ගැනීමට පුළුවන් වෙන්නේ නැහැ.

වසංගතයක් සමඟ ජීවත් වීමට සිදුවීම නිසා අපි අතින් ආණ්ඩුවක් ලෙස කළ යුතුව තිබූ යම් යම් දේවල්. මග හැරී තිබෙනවා. ඒ වගේම විශේෂ අවධානය යොමුකර කළ යුතුව තිබූ දේවල් නොවී තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කර ගැනීමට අපට තවමත් කල් තිබෙනවා. ඉදිරියට තිබෙන වසර තුන, ජනතාව අපෙන් බලාපොරොත්තු වූ වෙනස ප්‍රායෝගිකව සිදු කරලා පෙන්වීමට තිබෙන වසර තුනක්. ‘කොවිඩ් එන්නත දියුණු රටවල ගහලා ඉවර වුණාට පසුව තමයි ලංකාවට එම එන්නත ලැබෙන්නේ’ කියලයි ඇතැමුන් කීවේ. නමුත් එන්නත්කරණය අතින් ලෝකයේ ඉහළින්ම සිටින රටවල් 10 අතර අද ශ්‍රී ලංකාව සිටිනවා. අපි රට යළි සංචාරක ව්‍යාපාරයට විවෘත කරන විට ලෝකයේ සංචාරක ව්‍යාපාරයට සුදුසුම රටවල් 05න් එකක් තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා අපි අමාරුකම්, අඩුපාඩු මැද්දේ සමහර අංශවලින් අභියෝගය ජයගෙන තිබෙනවා. ඒ වගේම සමහර අංශවල ප්‍රගතිය ගැන අපට සතුටු වීමට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මහජන වරමින් තේරී පත්වූ පාලනතන්ත්‍රයක් ලෙස අප සියලුදෙනාටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා, පවතින අඩුපාඩු නිවැරදි කරගෙන මේ රට ජයග්‍රාහීව ඉදිරියට ගෙන යන්න.

ඔබ දන්නවා මා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ගෙවී ගිය වසර දෙක තුළ ඔබ සමග කටයුතු කළේ ඉහත කී පොදු පරමාර්ථ ජයග්‍රහණය කරවීමටයි. එලෙසම මේ රටේ ඇත්ත කර්මාන්තකරුවා බලගැන්වීමට සහ ඔහු මුහුණ දී සිටින ගැටලුවලට පිළියම් යෙදීමටයි. ඒ වෙනුවෙන් අපි අපේ ක්‍රියාකාරීත්වය පෙරටත් වඩා බලගන්වා ඉදිරියට ගෙන යන බව සහතික කරමින් අද මේ මහන මැෂින් ලබාගන්නා ඔබ සියලුදෙනාට එමගින් අපේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට යෝධ දායකත්වයක් ලබා දීමට හැකි වේවා’යි පතනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා නිලධාරීහු ද එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *