27 April 2024
#දේශීය

සංචාරක ව්‍යාපාරයේ නියුතු වුවන් රැක ගන්න රජයේ කැපවෙනවා – ඇමති ප්‍රසන්න

කොවිඩ් අභියෝගය හමුවේ සංචාරක ව්‍යාපාරය රැකගැනීම සදහා සංචාරක ක්ෂේත්‍රයට ලබාදුන් ණය සහන පැකේජය තවත් මාස 09 කට දීර්ඝ කිරීමට රජය තීරණය කළ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊට අදාළ චක්‍ර ලේඛය පසුගිය 13 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබේ. සංචාරක ක්ෂේත්‍රය සදහා ලබා දී තිබු ණය සහන කාලය මේ මස 30 වෙනිදායින් අවසන් වීමට තිබිණි.

නමුත් අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත් උපදෙස් පරිදි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මේ සදහා අවශ්‍ය පියවර ගත් බවයි.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ ද සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ වී ඇති අතර එය ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතී.

පසුගිය කාලය තුල මෙරටට සංචාරකයන් 45,000 කට ආසන්න පිරිසක් පැමිණ තිබේ. ඉදිරි මාස 03 ක කාලය තුල මෙරට සංචාරක ක්ෂේත්‍ර යේ සුවිශේෂි වර්ධනයක් අපේක්ෂා කරන බවත්, ලබන වසර තුළ දෛනිකව සංචාරකයන් 5,000 ක් පමණ මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇමතිවරයා සදහන් කරයි.

සංචාරක ක්ෂේත්‍ර යේ නිරත වූවන්ට ණය සහන පැකේජය, විදුලි හා ජල බිල්පත් ගාස්තු ගෙවීමට සහන සැලසීම, ලීසිං ගෙවීම සදහා සහන සැලසීම මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදීංචි රියදුරන් හා මාර්ගෝපදේශකයන් සදහා රුපියල් 15,000 බැගින් හා රුපියල් 20,000 බැගින් වූ දීමනාවක් ලබා දීමට ද කටයුතු කෙරිණි. රජය මේ සියල්ල සිදු කළේ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් රැකගැනීමේ අරමුණින් බව අමාත්‍යවරයා අවධාරණය කලේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *