27 April 2024
#දේශීය

අපේ රට ඇමෙරිකාවට සහ ඉන්දියාවට ගිල ගැනීමට ඉඩ දී ආණ්ඩුව බලා සිටිනවා – මන්ත්‍රී මුසම්මිල්

වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව හිඟමනට ඇදවට්ටා රටේ ජාතික සම්පත් විකුණා දැමීමට සැරසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (26) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදිය.

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ පැමිණි අවසන් තෙල් නැව බෙදාහැරීමෙන් අනතුරුව කළ යුත්තේ කුමක්දැයි කියා නිශ්චිත සැලැස්මක් තිබුණානම් අද ‘සතියකට තෙල් නැව් එන්නේ නැහැ’ යනුවෙන් බලශක්ති අමාත්‍යවරයා නොපවසනු ඇතැයි ද පෙන්වා දුන් ඒ මහතා තෙල් නොමැතිවීමෙන් මුළුමහත් සමාජයම අකර්මණ්‍ය වන බව මේ අයට නොතේරෙනවා නොවන බවද සඳහන් කළේය.

මහා චක්‍රවර්ති රජ කෙනකු මෙන් අගමැති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ මහතා අද විස්තර විචාරකයකුගේ තත්ත්වයට පත් වීම කනගාටුවට කරුණක් බව ද මුසම්මිල් මහතා පැවසීය.

ඩොලර් බිලියන ගණන් තමන් අගමැති ධූරයට පත් වූ පසු ලැබෙන බවට ඉඟි පළ කළ අග්‍රාමාත්‍යවරයා අඩුම තරමින් මේ තීරණාත්මක අවස්ථාවේ ඩොලර් මිලියන කිහිපයක් හෝ සපයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *