16 May 2024
#දේශීය #පුවත්

උත්තර ලංකා සභාගයට අයත් දේශපාලන පක්ෂ මැයි රැලිය” කිරුළපන දී පැවැත්විණ

උත්තර ලංකා සභාගයට අයත් දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල ද ඉහත පක්ෂවලට අනුබද්ධ වෘත්තීය සමිතිවල ද සහභාගිත්වයෙන් “77න් ඇරඹි පරාධීන ආර්ථික ගමනට එරෙහි එක්සත් මැයි රැලිය” ඊයේ (01) සවස කිරුළපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඒ සඳහා ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා සම සමාජ පක්ෂය, විජය ධරණී ජාතික සභාව හා ‘යුතුකම’ ජාතික සංවිධානය යන උත්තර ලංකා සභාගයට අයත් දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල එකමුතුවෙන් පැවැත්විය.

උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ අනුශාසක විජය ධරණී ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, සම සමාජ පක්ෂයේ ලේකම් ඩබ්ලිව්. අබේසේන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සභාපති, නීතිඥ නිමල් ආර්. රණවක යන දේශපාලන පක්ෂ නායකයෝ සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් එච්. ඩී. ආර්. අතුල, එක්සත් වතු කම්කරු සමිතියේ සභාපති ඒ. මුත්තුලිංගම්, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී. එච්. එස්. ශාන්තප්‍රිය යන අනුබද්ධ වෘත්තීය සමිතිවල නායකයෝ මෙම එක්සත් මැයි රැලිය අමතා අදහස් දැක්වූහ.

මෙහිදී මෙම එක්සත් මැයි රැලියේ “ප්‍රතිපත්තිමය යෝජනාව” ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය විසින් ද “පලස්තීන සහයෝගීතා ප්‍රකාශය” ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් ද මෙම එක්සත් මැයි රැලියේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අතර ඒවාට අනුමැතිය ලැබිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *