27 April 2024
#දේශීය

රට වෙනස් කරන්න ජනතාව එකතු වෙලා තීරණය කල යුතුයි – ජාතික ජන බලවේගයේ නායක අනුර

රට වෙනස් කරන්න ජනතාව එක්රැස් වෙලා වැදගත් තීරණයක් ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) ජාතික ජන බලවේගය කින්නියා පැවැති රැලිය අමතමිනි.

එහීදි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය “මේ ජනතාව එක්රැස් වෙලා ඉන්නේ වැදගත් තීරණයක් ගන්න. මේ රට අපි වෙනස් කරන්න ඕනෑ. මේ වැඩිහිටි අය ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න ඡන්ද දීලා තිබෙනවා. ඡන්ද දීලා ආණ්ඩු හැදුවට මේ පාලකයන් මොකද කළේ. රට මුළුමනින්ම විනාශ කළා. ණය ගත්තා යාළුවන්ට කොන්ත්‍රාත් දුන්නා. හොරකම් කළා. මේ ගොල්ලෝ මොකක්ද කරන්නේ. සල්ලි ණයට ගන්නවා, බදු ගහලා ගන්නවා. භාණ්ඩාගාරය පිරෙනවා. ඒ ධනය මේ ගොල්ලෝ හොරකම් කරනවා. අවසන් ප්‍රතිඵලය මොකද වුණේ. ණය ගෙවා ගන්න බැරි රටක් බවට පත් කළා. අරගෙන තිබෙන ණය ගෙවන්නේ නෑ කියන තීරණය, ආණ්ඩුව ගිය වසරේ අප්‍රේල් 12දා ගත්තා. දැන් අපි ණය නොගෙවන රටක් බවට පත්වෙලා. හය මසකින් ගෙවන බවට පොරොන්දු වී බංග්ලාදේශයෙන් ණයක් ගත්තා. දැන් බංග්ලාදේශය ණය ඉල්ලලා ලියුම් එවනවා. රට විනාශ කළා. ණය ගෙවා ගන්න බැහැ. මේකයි අද සිදුවෙලා තිබෙන්නේ. දැන් ලෝකෙට පොලු තියලා තිබෙනවා. මේ පාලකයෝ ආර්ථිකය කඩා වැට්ටුවා. ගොවි බිම් විනාශ කළා. ඉස්පිරිතාලෙට බෙහෙත් ටික නැති කළා. ප්‍රශ්න පත්තරයක් මුද්‍රණය කරන්න කඩදාසිය නැති කළා. බඩු මිල ඉහළ දැම්මා. අසීමිත ලෙස බදු ගැහුව්වා. මුළු රටම විනාශ කළා. මේ පාලකයො දීර්ඝ කාලයක් මේ රට පාලනය කළා. මේ රට විනාශ කළේ මාරුවෙන් මාරුවට පාලනය කරපු පාලකයෝ. ඒ වගේම වරින් වර මේ පාලකයන්ට ඡන්දය දීල බලයට ගෙන ආවේ ජනතාව. මේ රටේ විනාශයට යම් තරමක වගකීමක් ජනතාවටත් තිබෙනවා. තමුන්නාන්සේලා ඡන්දය දීලා හදපු ආණ්ඩු මේ. ඉතිහාසයේ අපට වැරදුණා, තේරුම් ගත නොහැකි වුණා, නමුත් දැන් ඒක වෙනස් කළ යුතුයි. අපි ඔබව හමුවෙන්න ආවේ මේ විනාශකාරි ආණ්ඩු වෙනුවට, මේ රට ගොඩනඟන ආණ්ඩුවක් හදමු කියන යෝජනාව කරන්න. ඒ සඳහා අපි ඔක්කෝම එකතු වෙන්න ඕනෙ. අපි ඉස්සර හිතුවෙ බලය තිබෙන්නේ මහින්ද, ගෝඨාභය, හකීම්, අතාවුල්ලා ළඟ කියලා. නෑ බලය තිබෙන්නේ පාලකයන් අතේ නොවෙයි. ජනතාව පාරට බැස්සා. ජනාධිපති මන්දිරය වැටලුවා. ගෝඨාභය පස්සා දොරෙන් පැනලා ගියා. මාලදිවයිනට ගියා. මහින්ද රාජපක්ෂගේ අරලියගහ මන්දිරය රටේ ජනතාව වැටලුවා. මහින්ද රාජපක්ෂ පැනලා ගියා. ත්‍රීකුණාමලේ නේවි කෑම්ප් එකේ හැංගුණා. බලය තිබෙන්නේ ජනතාව අතේ. බයවුණු කාලේ ඉවරයි. අපි ඔක්කෝම එකතු වෙලා ජනතාවගේ ආණ්ඩුවක් හදමු. සිංහල, දෙමළ, මුස්ලිම් අපි සහෝදරත්වයෙන් ඉන්න රටක් හදමු. එහෙම රටක් අපට ඕනෑ. අද දේශපාලන සුළඟ මාලිමාව දිසාවට හමන්නේ. සෝෂල් මීඩියා බැලුවොත් ඒකේ, උඩින් ඉන්නේ ඉන්නෙ තරුණ තරුණියෝ. මාලිමාව දිනවන්න ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. මුස්ලිම් තරුණයන් විශාල පිරිසක් ෆේස් බුක්වල, වට්ස්ඇප්වල, ඉන්ස්ට්‍රග්‍රෑම්වල ඉන්නවා. එයාල අද මාලිමාව වෙනුවෙන් පෙනී සිටිමින්, මාලිමාව දිනවන්න වැඩ කරනවා. විදෙස් රටක ගියොත් ඒ රටවල්වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව එකතු වෙමින් ඉන්නේ මාලිමාව වටා. අද වාර්තාවලින් හෙළිවී තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔක්කොම සභා මාලිමාව දිනන බව. මාතර දිස්ත්‍රික්කයේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පොළොන්නරුව ඔක්කෝම සභා දිනන්නෙත් මාලිමාව. රට පුරා විශාල බලයක් ගොඩනැගෙමින් තිබෙනවා. කින්නියාවේ නගර සභාව, ප්‍රාදේශීය සභාව මාලිමාවට බාර දෙන්න. එහෙම වුණොත් ඊළඟ ආණ්ඩුව මාලිමාව. මේ දේශපාලන හැරවුම අපි ගනිමු. මේ රට අපිට හදන්න ඕනෑ. අපේ දරුවන්ට හොඳ, විශ්වාසවන්ත රටක් ඕනෑ. මේ රට හදන්න පළමුවෙන්ම ආණ්ඩුව වෙනස් කරන්න ඕනෑ. අපි හොරකම, නාස්තිය නැති ආණ්ඩුවක් හදන්න ඕනෑ. හොරකම අල්ලන්නේ, හොරුන්ට දඬුවම් දෙන්නේ මාලිමාවේ අපි. ඕගොල්ලන්ට මතකද මෛත්‍රීපාල බලයට එනකොට කිවුවේ මොනවාද කියලා. මහින්ද හොරකම් කරලා තිබෙනවා කිවුවා. හොරුන්ට පැනලා යන්න දෙන්නෙ නෑ, එයාර් පෝර්ට් එක වහනවා කිවුවා. මොකද කළේ අවුරුදු තුනක් ගිහිල්ලා අර මහින්දට අගමැතිකම දුන්නා. 2019 රනිල් වික්‍රමසිංහ, මහ බැංකු හොරා කිවුවා, මහ බැංකු හොරාව හිරේ දාන්න, අර්ජුන මහේන්ද්‍රන්ව එක්කගෙන ඇවිත් දඬුවම් දෙන්න, ඡන්දෙ දුන්නා ගෝඨාභය රාජපක්ෂට. දැන් කට්ටියම එකතු වෙලා රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය දීලා තියෙනවා. ඒගොල්ලෝ එකට ඉන්නේ. හොරකම් කරන්නේ එකට, ආරක්ෂා වෙන්නේ එකට. ඒගොල්ලෝ කවදාවත් හිරේ යන්නේ නැහැ. බංග්ලාදේශයේ, පාකිස්ථානයේ, අගමැතිවරු, තමිල්නාඩුවේ මහ ඇමතිවරු හිරේ ගියා. ලංකාවේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් හිරේ ගියේ නැහැ. එයාලා පට්ට හොරු. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තොරතුරු, ලේඛන ඕනෑ තරම් තියෙනවා. අපි වංචාව නතර කරන, වංචා කරපු දේපළ පවරා ගන්න, වංචනිකයන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් හදන්න ඕනෑ. ඒ ආණ්ඩුව හදන්නේ මාලිමාවේ අපි. මන්ත්‍රීවරයෙක් ලෙස ගන්න වැටුප, බිස්නස් එකෙන් උපයා ගත් ධනය ඔයාලා තියා ගන්න. හැබැයි, එහෙට මෙහෙට පනින්න සල්ලි ගත්තා නම් ඒ සල්ලි ආපහු ගන්නවා. සජිත් ප්‍රේමදාසත් කියනවා හොරුන්ට දඬුවම් දෙනවා කියලා. සජිත්ගේ වේදිකාවේ වම් පැත්තේ කිරිඇල්ල, දකුණු පැත්තේ රාජිත සේනාරත්න, වේදිකාව උඩ හැරිසන්, විජිතමුණි, සජිත්. එයාලා හොරකම් කළ අයට දඬුවම් දෙන්නේ කොහොමද? මේ මැතිවරණය වළක්වන්න ආණ්ඩුව උපරිම උත්සාහ ගන්නවා. පාර්ලිමේන්තුවෙන් ඡන්දෙ කල් දාන්න ගත්ත උත්සාහයන් අපි සියල්ලම නැවැත්වුවා. දැන් අධිකරණයෙන් උත්සාහ ගනිමින් ඉන්නවා. මහින්දගෙන් රනිල්ට බලය එනකොට, රනිල්ගෙන් මහින්දට බලය එනකොට, රනිල්ගෙන් සජිත්ට බලය එනකොට එයාලා කලබල වෙන්නේ නැහැ. එයාලා කලබල වෙන්නේ මාලිමාව බලයට එනකොට. ඒගොල්ලන්ගේ බලය අපේ පංතියට, දුප්පත් පංතියට බලය එනකොට එයාලා බලවෙලා. ඡන්දෙට සල්ලි නෑලු. ඡන්දෙ තියන්න බැරි තරමටම භාණ්ඩාගාරය හින්දුවා නම්, එක දවසක් එයාලට බලයේ ඉන්න අයිතියක් නැහැ. භාණ්ඩාගාරය හින්දපු නිසාම තමයි ඡන්දය ඕනෑ. මේ ඔක්කෝම කරන්නේ ලංකාවේ අලුත් බලවේගයකට, මාලිමාව දිසාවට රැල්ල ගහලා තියෙන නිසා. ඔක්කෝමලා බයවෙලා. අපි කලබල නැහැ. අපි මුතූර්වලට ගියා. දහස් සංඛ්‍යාත මුස්ලිම් ජනතාව මාලිමාවට එකතු වෙන්න ලෑස්තියි. මේ කින්නියාවේ ජනතාව එකතු වෙලා කියන්නේ රට අලුත් මාවතකට හරවන්න ඕනෑ කියන එක. මේ රට හදන්න ජාතිවාදය නැතිව යන්න ඕනෑ. අපේ රටේ පාලකයන් බලය ගන්න, බලය රැකගන්න හැමදාම ජාතිවාදය වපුරනවා. රනිල් වික්‍රමසිංහ කියනවා 13 දෙනවා කියලා දෙමළ ඡන්ද ගන්න උත්සාහයක යෙදෙනවා. මහින්ද රාජපක්ෂ 13 එපා කියලා සිංහල ඡන්ද ගන්න හදනවා. ඒ ඡන්ද ඔක්කෝම එක මල්ලට. ඒකයි මේ කරන්න හදන්නේ. එවාට අහුවෙන්න එපා. පහුගිය ජනාධිපති ඡන්දෙ වෙනකම්, මොකක්ද කිවුවේ. වඳ කොත්තු තියෙනවා, සිංහල අම්මලාට වඳ කොත්තු විකුණනවා, කාන්තාවන් වඳ වෙන වඳ ඇඳුම් තියෙනවා කිවුවා. කාන්තාවන් වඳ කරන දොස්තරලා ඉන්නවා කිවුවා. ගෝඨාභය ජනාධිපති වෙනකම් එහෙම කිවුවා. ගෝඨාභය ජනාධිපති පුටුවේ වාඩිවුණාම වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා නැති වුණා. වඳ දොස්තර ලෙස හැඳින්වූ සාෆි දොස්තර මහතාට වන්දි ගෙව්වා. ජාතිවාදය වැපිරුවා, ගැටුම් ඇති කළා, සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව කෙරෙහිත් මුස්ලිම් ජනතාව, සිංහල ජනතාව කෙරෙහිත් සැකයෙන් බලන තත්වයක් ඇති කළා. මෙවැනි තත්වයක් ඇති කරලා, ගෝඨාභයලා දකුණේ ඡන්ද ටික ගත්තා, නැගෙනහිර මුස්ලිම් නායකයෝ, ගෝඨාභය ජාතිවාදී නායකයා, මුස්ලිම් ජනතාවට එරෙහිම වැඩ කරනවා. මුස්ලිම් ජනතාව බේරා ගන්න ‘ගහට’ කතිරය ගහන්න කිවුවා. හකීම්ට, අතාවුල්ලාට, තවුෆික්ට, කතිර දෙන්න කිවුවා. එහෙම ඡන්දෙ අරගෙන අතාවුල්ලලා, තවුෆික්, පාර්ලිමේන්තුවට ඇවිත් ගෝඨාභයට කතිරෙ ගහනවා. විසිවැනි සංශෝධනයේදී අත ඉස්සුවේ කවුද? අතාවුල්ලා. අතාවුල්ලා වාඩි වෙන්නෙ විපක්ෂයේ. එහෙත් අත උස්සන්නේ ආණ්ඩුවට. මේ නායකයෝද? ඔය සිදුවීම් අස්සේ තිබෙන්නේ ගනුදෙනු. ඔය සල්ලිවලට විකිණෙන්නේ. තමුන්නාන්සේලාගෙන් ඡන්දෙ අරගෙන එයාලා විකිණෙනවා. සල්ලි හම්බ කරනවා. ආයෙ එනවා. “ජාතිය අනතුරේ. මුස්ලිම් අය බේරාගනිමු. අපේ පල්ලිවලට ගහනවා. දඹුල්ලෙත්, දිගනත් ගැහුවා. පාර්ලිමේන්තුවට අපේ කට්ටිය වැඩියෙන් යවමු.” එහෙම තමයි හැමදාම කරන්නේ. මේක වෙනස් කරන්න ඕනෑ. මේ මුස්ලිම් සමාජය අලුත් නායකයන් හදන්න ඕනෑ. ජාතික ජන බලවේගය කියන්නේ සියලුම ජනතාවගේ පක්ෂයක්. මුන්නීර් සහෝදරයා ජාතික ජන බලවේගයේ ඉහළම කමිටුවේ විධායක සභාවේ ඉන්නවා. වැලිගම නගර සභාවේ කණ්ඩායම් නායක ලෙස අපි මුන්නීර් සහෝදරයා පත්කළා. සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස වෙන වෙනම පක්ෂ රටට අවශ්‍ය නැහැ. මාලිමාව මේ සෑම ජන කොටසකගේම පක්ෂය. මේ රටේ ජාතික සමගිය හදන පක්ෂය. ජනතාවගේ අයිතිවාසිකම් රකින පක්ෂය. අපිට තව මුස්ලිම් නායකයෝ ඕනෑ. දෙමළ භාෂාවෙන් කතා කරන නායකයෝ ඕනෑ. මේ වේදිකාවේ තරුණ විශාල පිරිසක් ඉන්නවා. මේයාලා තමයි ඔබලාගේ නායකයො වෙන්න ඕනෑ. මෙයාලා මේ වේදිකාවට නැග්ගේ හම්බ කරන්නද? හම්බකරන්න මේ වේදිකාවට නගින්න වුවමනා නැහැ. මේ වැරදි දේශපාලනය, දූෂණය, ජාතිවාදය නතර කරන්න ඕනෙ කියන අයයි මේ වේදිකාවට නැග්ගේ. හකීම් මහඡන්දෙට ඇවිත් නැගෙනහිර මුස්ලිම් කොංග්‍රසයෙන් මන්ත්‍රීධුර ටිකක් ගන්නවා. උත්තරීතර සභාව කැඳවනවා. සහාය දෙන්නේ රනිල්ටද? චන්ද්‍රිකාටද? උත්තරීතර මණ්ඩලයේ සාකච්ඡා කරනවා. ගණන කීයද අහනවා. චන්ද්‍රිකා කියනවා, මට ඇහිලා තිබෙනවා, “හකීම් තාම ෂොපින් ආවේ නැද්ද?” කියලා. ඇමතිකම්, සභාපතිකම්, තානාපතිකම් කීයද? මේ ෂොපින් යාම තමයි කළේ. ඒ නායකයෝ පොහොසත් වුණා. ජනතාව දුප්පත් වුණා. ජනතා ප්‍රශ්න වැඩිවුණා. ඡන්දයක් එනකොට හොරකම් කළ ධනය බෙදන්න පටන් ගන්නවා. සිමෙන්ති, තහඩු, ගිනිපෙට්ටියේ දාලා පන්දහසේ කොළ බෙදනවා. දුප්පත් වෙලා මහන්සියෙන් හම්බ කරන ධනය එහෙම බෙදන්නේ නැහැ. සාධාරණ ලෙස උපයන ධනය එහෙම බෙදන්නේ නැහැ. තමුන්නාන්සේලා රාමසාන් කාලයේ උපයන ධනයෙන් 2 1/2%ක් දෙනවා. ඒක ඉස්ලාම් ධර්මයට අනුව නිවැරදියි. නමුත් මේ කරන්නේ පාර්ලිමේන්තුවට යනවා, හොරකම් කරනවා, ධනය එකතුකර ගන්නවා, ඡන්දය එනකොට ඒකෙන් බෙදනවා. ඒක හරාම්. මේ දේශපාලනය නතර කරන්න ඕනෑ. හොරකමෙන් තොර පාලනයක්, ජාතික සමගිය තිබෙන රටක්, නීතිය කාටත් සාධාරණ රටක්, ලෝකයේ පිළිගන්න රටක් අපි හදනවා. හොරකමට දඬුවම් දෙන රටක්, නීතිය සාධාරණත්වය තිබෙන රටක්, ජාතිවාදය නිසා මැදපෙරදිග තරහා කරගෙන තිබෙනවා මේ ආණ්ඩු. රටක් ගොඩනඟන්න නම් ජාතික සමගිය තියෙන්න ඕනෑ. කාන්තාවන්ගේ ආරක්ෂාව තිබෙන්න ඕනෑ. ලෝකයේ හැමදෙනාටම උදව් කරන්න හිතෙන රටක්, කීර්තිමත් රටක්, මේ පාලකයෝ අපේ රට අපකීර්තියට පත්කළා. ලෝකෙන් උදව් ගන්න නොහැකි රටක් බවට පත්කළා. අපි ඔක්කෝම එකතු වෙලා හොරුන්ගෙන් තොර, වංචාවෙන් තොර, ජාතිවාදයෙන් තොර, ලෝකය පිළිගන්න ආණ්ඩුවක් හදමු. ඒක තමයි මාලිමාවේ ආණ්ඩුව. ඒ වෙනුවෙන් අපි ඔක්කෝම එකතු වෙමු. මේ ඉන්නේ කින්නියාවේ නායකයෝ. තව කින්නියාවේ නායකයෝ හදන්න ඕනෑ. මේ අය ප්‍රාදේශීය සභාවට යවන්න. පටන් ගනිමු ප්‍රාදේශීය සභාවෙන්. ඊළඟට පාර්ලිමේන්තුවට එවන්න. තමුන්නාන්සේලාගේ ඇත්ත ප්‍රශ්න කතා කරන, පැත්ත මාරු කරන්නේ නැති, හොරකම් කරන්නේ නැති, පාවලා දෙන්නේ නැති අලුත් නායකයෝ හදමු. අනෙක් අයට රටේ ප්‍රශ්න පෙන්නලා දීලා, ඒකෙන් ගොඩඑන්න පාර පෙන්වන්න. ඒ වෙනුවෙන් එකතු වෙන්න; පෙරට එන්න.යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *