ශ්‍රී ලංකාවේ මෝටර් රථ නඩත්තු හා ආරක්ෂණ (Detailing & Protection) ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ‘The Pink Auto Shop’ පෞද්ගලික සමාගම, Business World International Organization විසින් සංවිධානය කරන ලද BWIO 2026 සම්මාන උළෙලේදී “Most Famous Detailing Shop of the Year” සම්මානයෙන් නිල වශයෙන් පිදුම් ලැබීය. සාම්ප්‍රදායික මෝටර් රථ අලුත්වැඩියා සංස්කෘතියෙන් ඔබ්බට ගිය නවීන තාක්ෂණික සේවා ආකෘතියක් හරහා මෙරට රථවාහන ක්ෂේත්‍රය තුළ ප්‍රබල සන්නාම නායකත්වයක් තහවුරු කර ගැනීමට එම ආයතනය දැක්වූ විශිෂ්ටත්වය සහ ව්‍යාපාරික නවෝත්පාදනය මෙම ජාත්‍යන්තර ඇගයීමට ප්‍රධාන පාදක වී තිබේ.
2018 වසරේදී ආරම්භ වූ මෙම ආයතනය, මෑතකදී මෙරට රථවාහන ආනයන ක්‍රියාවලිය යළි ක්‍රියාත්මක වීමත් සමඟ වෙළඳපොළට එක්වන නව මෝටර් රථ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියේ Ceramic Coating, PPF සහ Tint ඇතුළු උසස් ආරක්ෂණ විසඳුම් සැපයීමේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරමින් සිටියි. ISO සහතිකලත් සමාගමක් ලෙස RUPES, Gtechniq සහ STEK වැනි ලොව ප්‍රමුඛතම සන්නාමයන් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ගොඩනඟා ගනිමින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට ගෝලීය මට්ටමේ සේවා අත්දැකීමක් සමීප කිරීමට ඔවුන් සමත්ව ඇති අතර, එය මෙරට මෝටර් රථ පසු-වෙළඳපොළ (Aftermarket) කර්මාන්තයේ ගුණාත්මක පරිවර්තනයක් සනිටුහන් කරයි.
සේවා සැපයීමට පමණක් සීමා නොවන මෙම ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම රජයේ අනුමැතිය ලත් (TVEC) Detailing පුහුණු මධ්‍යස්ථානය වන ‘The Pink Academy’ හරහා NVQ Level 4 ප්‍රමිතියේ තාක්ෂණික ශ්‍රම බලකායක් බිහිකිරීමටත්, ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජනය සක්‍රීය කිරීමටත් පුරෝගාමී වී සිටියි. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කාවින්ද පෙරේරා මහතා අවධාරණය කළේ, මෙය තම කාර්ය මණ්ඩලයේ කැපවීමේ ප්‍රතිඵලයක් බවත්, ඉදිරියේදී මෙරට Detailing කර්මාන්තය ආසියානු කලාපයේ ඉහළම ප්‍රමිතීන්ට ඔසවා තැබීම සමාගමේ දීර්ඝකාලීන ඉලක්කය බවත්ය.
















