27 April 2024
#දේශීය

මැතිවරණ කල්දාන්න බලයක් ජනපතිට නෑ – විපක්ෂ නායක සජිත්

ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් වත්මන් රජය පළාත් පාලන ඡන්ද විමසීම කල් දමා ඇති බවත් එය 2025 වසර දක්වා කල් දමන බව ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එවැනි බලතලයක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (1) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

සීමා නිර්ණය කමිටු පත් කිරීම, මුදල් නොමැති බව පැවසීම, මැතිවරණය නොපවත්වන ලෙස අධිකරණය හමුවට යාම, මැ.කො. ස නිලධාරීන්ව ජනාධිපතිවරයා කැඳවීම, රාජ්‍ය පරිපාලන ලේකම් හරහා ඇපකර බාර ගැනීම නතර කිරීම, කැබිනට් තීන්දු ගැනීම, මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධ පාර්ලිමේන්තුවට කෙටුම්පත් ඉදිරිපත් කිරිම, මැතිවරණ පැවැතියහොත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි බව පැවසීම, කොමිසමේ නියෝජිතයන්ට ඉවත් වීම සහ ඉල්ලා අස්වන ලෙස බල කිරීම වැනි විවිධ උපක්‍රම අනුගමනය කරමින් මැතිවරණය කල් දැමීමට උත්සාහ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන් වැටුප් සම්බන්ධ බරපතල ගැටලුවලට මුහුණ දෙන බවත් අදටත් ඔවුන්ට විසදුම් නොමැති බවත් එසේම ඔවුන්ට රාජකාරී සිදු කරන ආයතන වෙත යාමට පවා ඉඩ නොදී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අනාවරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *