27 April 2024
#දේශීය

දැව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සංස්ථාව අතර දීර්ඝ කාලයක් පැවති ප්‍රශ්න ජනාධිපති මැදිහත්ව විසඳයි

රජයේ සහ අනුබද්ධ ආයතනවල පවතින ගැටළු නීති මාර්ගයට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ඒ රාජ්‍ය දැව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සමාගම අතර දීර්ඝ කාලයක් පැවති නීතිමය ගැටළු පිළිබඳව සාකච්ඡාවක් සඳහා එක්වෙමින්ය.

“රටට ආවේණික නොවන සහ පරිසර සංරක්ෂණයට අදාළ නොවන වන වගා ඉවත් කොට රටට ගැලපෙන වගා හඳුන්වාදීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. 

මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට රාජ්‍ය ආයතන පවත්වා ගත යුතු බවත්  ඒ සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේදී දීර්ඝ කාලයක් ගත යුතු නැති බවත් ඒ ඒ ආයතන අතර අවබෝධයෙන් හා රාජ්‍ය ප්‍රතිපත්ති හඳුනාගෙන කටයුතු කිරීමෙන් බොහෝ ගැටළු විසඳා ගත හැකි බවත් එහිදී ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.

රජය  නිවැරදි ප්‍රතිපත්තිමය තීරණයක් ගත් විට සියලුම රාජ්‍ය ආයතන එම ප්‍රතිපත්ති අනුව වැඩ කළ යුතු බවත් ජනාධිපති අවධාරණය කර තිබේ.

හරි දේ කිරීමට කිසිවිටෙක බාධාවක් තිබිය නොහැකි බවත් නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරක් බවත් සඳහන් කර ඇති ජනාධිපති රාජ්‍ය නිලධාරියාගේ වගකීම ප්‍රශ්න විසඳීම මිස පැහැර හැරීම නොවන බව ද අවධාරණය කර ඇත.

අනුබද්ධ ආයතන අතර පවතින ගැටළු නිසි පරිදි සාකච්ඡාවට නොගැනීමෙන් නඩු මගට යෑමට රජයේ ආයතනවලට සිදුව ඇති බවද මෙහිදී හෙළි විය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නඩු 800ක් පමණ ගොනු කර ඇති අතර ඉන් 300 ක් පමණ වැවිලි සමාගම් සමග බවද හෙළි විය.

අමාත්‍ය රෙමේෂ් පතිරණ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *