27 April 2024
#දේශීය

කොවිඩ් වලට සීමා වූ දරුවන්ගේ අධ්‍යාපනය, නැවත ප්‍රකෘතිමත් කිරීමේ හදවත ගුරුවරුන් බව අගමැති කියයි

කොවිඩ් වසංගතයට සීමා වූ දරුවන්ගේ අධ්‍යාපනය නැවත ප්‍රකෘතිමත් කිරීමේ හදවත් ඇත්තේ ගුරුවරුන්ට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) දින ලෝක ගුරු දිනයට සමඟාමීව අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ ගුරු දින උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් එක් කරමිනි.

ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඔස්සේ පළමු වතාවට හැඳුනුම්පතක් නිකුත් කිරීම ද මෙම උත්සවයට සමඟාමීව සිදුවිය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුරු දිනය නිමිත්තෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළ සම්පූර්ණ සුබ පැතුම් පණිවුඩය මෙසේය.

” අපේ ආදරණීය ගුරුවර ගුරුවරියන් අතීතයේ පටන්ම සමබර පුරවැසියන් දැයට බිහිකරන්න කැපවූ බව අපි දන්නවා.

මුළු මහත් ජාතියේම හෙට දවස වෙනුවෙන් ඔබ මේ කරන කාර්යය අපි හැමදාමත් අගය කරනවා.

ගුරුවරුන් ලෙස සමස්ත මානව වර්ගයාගේ යහ පැවැත්ම වෙනුවෙන් ඔබ ඉටු කරන කාර්යය කිසි ලෙසකත් අප අවතක්සේරුවට ලක්කරන්නේ නැහැ. ඒ නිසාම රජයක් ලෙස ගුරු වෘත්තියට ලබා දෙන පිළිගැනීම තවදුරටත් තහවුරු කරනවා.

ගුරු ගෞරවය රැක්ක සහ රකින රජයක් ලෙස ඔබගේ සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කම් දෙන්න අපි ලැහැස්ති බව සිහිපත් කරන්න ඕන. වෘත්තිය අරගලවල දී ගුරු ගෞරවය පිළිබඳව සිතන ලෙසත්, දරුවන්ගේ නැණස පෑදීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉටු කරන ලෙසත් අප ඔබගෙන් ඉල්ලා සිටිනවා.

මුළු ලෝකයම වසංගතයක් හමුවේ අසරණ වී සිටින අවස්ථාවක පංති කාමරයේ සිටි භෞතික දරුවා වෙනුවට නිවසේ සිටින ඩිජිටල් දරුවාට ඉගැන්වීමට ඔබ ගන්නා වෙහෙස කොපමණ ද කියලා අපි හොඳාකාරවම දන්නවා.

රාජ්‍ය සේවයේ නියැලුනත් ඔබට මේ දක්වා විධිමත් රාජකාරී හැඳුනුම්පතක් තිබුණේ නැහැ. පළමු වතාවටයි “ලෝක ගුරු දිනය”ට සමඟාමීව ඔබට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හැඳුනුම්පතක් නිකුත් කරන්න කටයුතු කරලා තියෙන්නේ.

අපට ඕනේ දැයේ අනාගතය භාරගන්න දරුවන්ට හොඳ ම දේ දෙන්න. ඒ වෙනුවෙන් විශ්වීය තත්ත්වයට ගැළපෙන ශ්‍රී ලාංකික ගුරුවරයා නිර්මාණය කිරීමේ අභියෝගය අද අපි භාරගෙන තිබෙනවා. අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු සියලු දෙනා ඒ වෙනුවෙන් කරන කාර්යය භාරය අපි සැමවිටම අගය කරනවා.

“ගුරුවරුන් වනාහි ශක්තිමත් දුණුදිය යි. දරුවන් වනාහි ඒ දුන්නෙහි රැඳී ඉන් මිදී ඉදිරියට ඇදෙන ඊතල යි”. ඛලීල් ජිබ්රාන් නම් වූ දාර්ශනිකයා පැවසූ පරිදි එම ඊතල වඩාත් තියුණු කිරීමත් නිවැරදි ඉලක්කය වෙත එල්ල කිරීමත් ගුරුවරුන්ගේ කාර්යය භාරය කියලයි මා විශ්වාස කරන්නෙ.

ඒ නිසා කොවිඩ් වසංගතයට සීමා වූ දරුවන්ගේ අධ්‍යාපනය නැවත ප්‍රකෘතිමත් කිරීමේ හදවත් ඇත්තේ ගුරුවරුන් වන ඔබ සතුව බව නැවතත් සිහිපත් කරනවා.
දරුවන්ගේ නැණස පාදමින් දැයක් නුවණින් ඒකාලෝක කරන්න ශ්‍රී ලාංකික ගුරු පරපුරට ශක්තිය ධෛර්ය ලැබේවා! යැයි මා ප්‍රාර්ථනා කරනවා.

ඔබ සැමට නිරෝගිමත් අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *