27 April 2024
#Uncategorised

වසරක් තුල නැගෙනහිර පළාතේ දියර කිරි නිෂ්පාදනය දෙගුණ කෙරේ – පළාත් ආණ්ඩුකාර අනුරාධා

නැගෙනහිර පළාතේ දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් එක් ලක්ෂ හැට හතර දාහක් දක්වා වර්ධනය වි ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ඊයේ (9) පෙරවරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති විශේෂ හමුවකදීය.

මීට වසරකට පමණ පෙර එම නිෂ්පාදන අගය වාර්තා වූයේ ඉහත සංඛ්‍යාවෙන් හරි අඩක් පමණි. පළාතේ පශු සම්පත් කටයුතු වඩා ඵලදායී ලෙස සිදු කිරීම නිසා මෙම දෛනික කිරි නිෂ්පාදනය ඉහල දැමීමට හැකි වූ බවද ආණ්ඩුකාරවරිය කියා සිටියාය.

නැගෙනහිර පළාත තුල ගවයන් නිදැල්ලේ හැරීමෙන් වන හානිය අවම කිරීම සඳහා “තිරසාර කිරි ගොවිපල “ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන පනස් දෙකක් වැය කරමින් ආදර්ශ කිරි ගොවිපලවල් ඇති කල බවද ආණ්ඩුකාරවරිය පෙන්වා දුන්නාය. එම එක් ගොවිපලක් සඳහා බයෝ ගෑස් පද්ධතියක්, ගව ගාලත් , කාබනික පොහොර නිෂ්පාදන ඒකකයක්, ගව ආහාර සඳහා තණකොල වගා කිරීමට සුදුසු ඉඩමක්, වැසි ජලය ඒකරාශී කරගැනීම සඳහා වන ඒකකයක් ද ඇතුලත් වේ.

ඊට අමතරව මෙම තිරසාර කිරි ගොවිපලවල් ආදර්ශයට ගනිමින් සෙසු ගොවීන්ද මෙම නව ක්‍රමයට ඇතුලත් කරගැනීම සඳහා පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහන් රාශියක් දියත් කර තිබේ. මේ අතර ත්‍රිකුණාමලය උප්පුවේලි පිහිටි රජයේ ගොවිපලේ ආදර්ශ බයෝ ගෑස් නිෂ්පාදනාගාරය ඉදිකිරීම සඳහාද රුපියල් මිලියන තිස් දෙකක මුදලක් වැයකිරීමට ආණ්ඩුකාරවරිය කටයුතු කලාය. ඊට අමතරව පළාතේ දියර කිරි නිෂ්පාදන ධාරිතාව ඉහල දැමීම සඳහා ගවයන්ගේ ජාන වැඩිදියුණු කිරීමේ විශේෂ ක්‍රමවේදයක්ද පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *