27 April 2024
#සංවර්ධන

ගම්පහ, කරස්නාගල, බස්නාගොඩ ජල ව්‍යාපෘතියේ නව ජල සබඳතා ලබාදීම 25 වැනිදා ඇරඹේ

ගම්පහ, කරස්නාගල, බස්නාගොඩ ජල ව්‍යාපෘතියේ නව ජල සබඳතා ලබා දීමේ සමාරම්භක උත්සවය ප්‍රසන්න රණතුංග හා ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 440 ක ලක්ෂ හයක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට හැකිවනු ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (22) දින පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඒ අනුව බස්නාගොඩ ජලසම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අත්තනගල්ල, පස්යාල දක්වා නව ජල සබදතා ලබා දීමට නියමිතයි. එහි දෙවන අදියර යටතේ නිට්ටඹුව, මිනුවන්ගොඩ සහ ගම්පහ අවට ප්‍රදේශ රැසක් ආවරණය කිරීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එබැවින් මෙම ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ලබන ඔක්තෝබර් මස වන විට අවසන් කරන ලෙසද අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

ගම්පහ, කරස්නාගල, බස්නාගොඩ ජල සම්පාදන ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. ‍

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ජාතික ජලසම්පාදන මණ්ඩලයේ උප සභාපති සංජීව විජේකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *