27 April 2024
#දේශීය #පුවත්

ඔන්ලයින් පනතට කතානායක අත්සන් කරලා තිබෙන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා -මන්ත්‍රී කිරිඇල්ල

පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙන අවස්ථාවක ව්‍යවස්ථාපිත කරුණක් සඳහා අත්සන් කිරීමේ බලයක් කතානායකවරයාට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පාර්ලිමේන්තුව වාර අවසාන කරන අවස්ථාවක පාර්ලිමේන්තුවට යම් කාරණයක් ගෙනැවිත් එය අසම්පුර්ණ වී තිබෙනවානම් එය සම්පුර්ණ කරන්න හැකියාව තිබෙන්නේ නැවත පාර්ලිමේන්තුව රැස්වූ පසුව බවත් නමුත් කතානායකවරයා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කළේ පාර්ලිමේන්තුව වාර අවසාන කරලා තිබෙන කාලයක බවත් ඒ අනුව කතානායකවරයා පැහැදිලිවම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙන බවත් කිරිඇල්ල මහතා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පසු පාර්ලිමේන්තුව වාර අවසාන කළා. පාර්ලිමේන්තුව වාර අවසාන කරලා තිබුණ වෙලාවක තමයි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට කතානායකවරයා අත්සන් කරලා තිබෙන්නේ. පාර්ලිමේන්තුව වාර අවසාන කරලා තිබෙන අවස්ථාවක ව්‍යවස්ථාපිත කරුණු කිසිවක් සිදුකරන්න බෑ. යථා පරිදි පර්ලිමේන්තුව ඉදිරියට ගෙන එන ලැබ, පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වනවිට කටයුතු නිම කරනු ලැබ නොමැතිනම් යම් කාරණයක් ඇත්තේද , ඒ සියලු කාරණා පිළිබඳ පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේදී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය. පාර්ලිමේන්තුව වාර අවසාන කරන අවස්ථාවේ පාර්ලිමේන්තුව ඉදිරියට යම් කාරණයක් ගෙනැවිත් එය අසම්පුර්ණ වී තිබෙනවානම් එය සම්පුර්ණ කරන්න පුලුවන් වෙන්නේ පාර්ලිමේන්තුව රැස්වුණාම. නමුත් කතානායකවරයා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කළේ පාර්ලිමේන්තුව වාර අවසාන කරලා තිබෙන කාලයක. ඒ අනුව කතානායකවරයා පැහැදිලිවම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ වාර අවසාන කරලා තිබෙන අවස්ථාවක ව්‍යවස්ථාපිත කාරණා කිසිදු දෙයක් සිදුකරන්න බෑ. කතානායකවරයාගේ අත්සන කියන්නේ ව්‍යවස්ථාපිත කාරණයක්. කතානායකවරයාගේ අත්සනින් පසුව තමයි ඕනෑම දෙයක් නීත්‍යානුකූල වෙන්නේ. පාර්ලිමේන්තුවේ නව වාරය ආරම්භ කළ දවසේ කතානායකවරයාට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කරන්න තිබුණා. පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම එම පනත ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම පනත් වල සංශෝධන ඉදිරිපත් කරනවා. සංශෝධන නැතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බෑ. නමුත් ව්‍යවස්ථා සංශෝධන 9 ක් අවම වශයෙන් ප්‍රධාන කරුණු 5 ක් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශක කළ අවසාන පනතට ඇතුළත් කරලා නෑ. ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධන නැතිව පනතක් ඉදිරිපත් කරන්න ව්‍යවස්ථාව අනුව නොහැකි දෙයක්. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න වැඩකටයුතු සූදානම් කරලා තිබෙනවා යැයි මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *