ජාතික විදුලි අර්බුදයට පිළියමක් ලෙස 2010 වසරේදී ආරම්භ කරන ලද තිරප්පනේ, කට්ටමුරිච්චාන ඩෙන්ඩ්‍රෝ ජීව බල පුනර්ජනනීය විදුලි උත්පාදන ව්‍යාපෘතිය වර්තමානය වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී යෑමේ තර්ජනයට ලක්ව තිබේ.
ඉන්දියානු සමාගමක ආයෝජනයෙන් රුපියල් මිලියන 300ක පිරිවැයක් දරා ඉදිකළ මෙම බලාගාරය මගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 1.5ක ධාරිතාවක් එක් කෙරිණි. ග්ලිරිසීඩියා ශාකය භාවිතයෙන් විදුලිය නිපදවීම, දේශගුණික විපර්යාස අවම කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය නැංවීම මෙහි ප්‍රධාන අරමුණ විය.
මෙම ව්‍යාපෘතියට සමගාමීව ගොවි ජනතාව සඳහා ගෙවතු කළමනාකරණ වැඩසටහන්, අතිරේක භෝග වගාවන් සඳහා පොහොර නිෂ්පාදනය, සත්ත්ව ආහාර නිපදවීම මෙන්ම ජීව වායු ඒකක හඳුන්වා දීම වැනි බහුවිධ කාර්යයන් රැසක් ක්‍රියාත්මක කෙරිණි. කෙසේ වෙතත්, අද වන විට මෙම බලාගාර පරිශ්‍රය වල්බිහි වී අතහැර දමා ඇති අතර එහි තිබූ කෝටි ගණනක් වටිනා දේපළ රැසක් සොර සතුරන් විසින් ගෙනගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති. තවත් වටිනා උපකරණ සහ ගොඩනැගිලි කැලෑවට යටවෙමින් පවතී.
ගොඩනැඟිලි සංකීර්ණය කැලෑවෙන් වැසී තිබීම නිසා විවිධ දුරාචාරයන් මෙන්ම රාත්‍රී කාලයට වන අලින්ගෙන් පවා තර්ජන එල්ල වන බව ගම්මු පෙන්වා දෙති. විනාශ වී යන මෙම දේපළ හා ගොඩනැගිලි යළි පිළිසකර කර, ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඇඟලුම් කර්මාන්ත ශාලාවක්, වී ගබඩා සංකීර්ණයක් හෝ වෙනත් සුදුසු කර්මාන්තයක් ආරම්භ කරන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කේ. පී. කේ. එල්. පී. මධුවන්ති මහත්මිය සඳහන් කළේ මෙම භූමිය දැනට රජයට පවරාගෙන ඇති බැවින් දීර්ඝකාලීන බදු පදනම මත ග්ලිරිසීඩියා ව්‍යාපෘතියක් යළි ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු ආයෝජකයකු ඉදිරිපත් වී ඇති බවයි. එමෙන්ම වනජීවි දෙපාර්තමේන්තුව පවසන පරිදි ගොඩනැගිලි සහිත මෙම භූමිය වන අලි ගමන් ගන්නා අලිමංකඩක් බැවින් ඊට යාබද භූමි කොටස ඒ සඳහා වෙන්කර කර්මාන්තශාලාව ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කරමින් පවතින බවද ඇය පැවසුවාය.














