29 April 2024
#දේශීය #පුවත්

මේ වසරේදී ජනාධිපතිවරණය, මහ මැතිවරණය දෙකම එකට – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

මේ වසරේදී ජනාධිපතිවරණය, මහ මැතිවරණය දෙකම එකට තියන්න යනවානම් එයින් විශාල වශයෙන් රටට , ජනතාවට විශාල සහනයක් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “මේ අවුරුද්දේ ජනාධිපතිවරණය, මහා මැතිවරණය දෙකම තියන්න ඉඩ තිබෙනවා. ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවක මැතිවරණ දෙකම එකට තියන්න යනවානම් එයින් විශාල වශයෙන් රටට , ජනතාවට විශාල සහනයක් ලැබෙනවා, ලොකු ගැටුම්කාරි ‍තත්වයක් ඇතිවෙන්නෙත් නැහැ. කිසිම කෙනෙකුට අසාධාරණයක් වෙන්නෙත් නැහැ. මැතිවරණයක් කිට්ටුවෙන කොට හැම පක්ෂයකම ප්‍රශ්න ඇතිවෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හැටියට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඇගිල්ල දික්කලා පොහොට්ටුව අද කැඩිලා, බිදිලා තිබෙන්නේ කියලා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද වෙලා තිබෙන්නේ උසාවි ගානේ සාමාජිකයන්ට යන්න. ඒකත් සී සී අත කැඩිලා ගිහිල්ලා. ඒ වගේම අනෙකුත් හැම පක්ෂයක් ගත්තම හැම පක්ෂයේම මේ ප්‍රශ්නය තිබෙනවා. මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කියලා අලුත් දෙයක් නොවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙත් අනෙක් පක්ෂවලට සාපේක්ෂව ඒ වගේ ගැටලු මතුවෙලා තිබෙනවා. අපි නැහැ කියන්නේ නැහැ. නමුත් අපිට මේක මැතිවරණයකට බලපෑමක් නැහැ. එක එක පුද්ගලයෝ එහාට මෙහාට ගියා කියලා , එක එක පුද්ගලයෝ එක එක ප්‍රකාශ කළා කියලා පක්ෂයක් වැටෙන්නේ නැහැ. පක්ෂයක ප්‍රතිපත්තියක් තිබෙනවා , මූලධර්මයක් තිබෙනවා , පක්ෂ නායකත්වයක් තිබෙනවා, ඒ නායකත්වය හරියට තිබෙනවා නම් මේවා ප්‍රශ්න නොවේ. පක්ෂයක් හැටියට පක්ෂයක එක එක මතිමතාන්තර ප්‍රකාශ කරනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක්. ඒ කතා කරන පිරිස සමහරවිට ටිකක් ආරක්ෂාවෙලා කතා කරානම් හොඳයි පක්ෂය පිළිබඳව හිතලා. අපි තාම අපේ අපේක්ෂකයා තේරුවේ නැහැ. අපේ දේශපාලන බල මණ්ඩලය ලඟදි රැස්වෙයි. දේශපාලන බල මණ්ඩලයේ අවසාන තීන්දුව තමයි පක්ෂයේ තීන්දුව යැයි මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *