හංවැල්ල, ආටිගල, පංසල පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ගිය හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට බාධා කර, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිහියකින් කපා පහර දී සහ සපා කා තුවාල සිදුකළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ නිවසට ගිය අවස්ථාවේ එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිහියකින් කපා පහර දී ඇති අතර, ඒ අතරවාරයේ නිවසේ සිටි කාන්තාවක් විසින් එක් පොලිස් නිලධාරියෙකු සපා කා තුවාල සිදු කර ඇති බව පොලීසිය පවසයි. මෙම ප්‍රහාරය නිසා එක් නිලධාරියෙකුගේ පිට ප්‍රදේශයේ කැපුම් තුවාල හා වම් උරහිසේ තැලුම් තුවාලද, අනෙක් නිලධාරියාගේ වම් අතේ මැණික් කටුව අසල දරුණු තුවාලද සිදුවී ඇති අතර, ඔවුන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු, ඔහුගේ පුත්‍රයා සහ පුත්‍රයාගේ බිරිඳ රාජකාරියට බාධා කිරීම, රජයේ නිලධාරියෙකුගේ අණට අකීකරු වීම සහ තියුණු ආයුධවලින් කපා තුවාල සිදු කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට පහර දුන් බවට පැවසීම හේතුවෙන් තුවාල ලැබූ එක් සැකකරුවෙකුද මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. හංවැල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.
















