දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්ද රෝහල ආසන්නයේදී ඊයේ (26) පෙරවරුවේ බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මහනුවර සිට ත්‍රිකුණාමලය බලා ගිය ලංගම බස් රථයක්, අනුරාධපුර බලා ගිය සුඛෝපභෝගී බස් රථයක් සහ මහනුවර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් දෙදෙනෙකු සහ කාන්තාවන් අට දෙනෙකු ද සිටින බව වාර්තා වේ.
එක් බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී එම මාර්ගයේ ගමන් කරමින් සිටි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ද වහාම ක්‍රියාත්මක වී බස් රථ තුළ සිරවී සිටි තුවාලකරුවන් බේරාගෙන රෝහල්ගත කිරීමට සක්‍රීයව දායක වී තිබීම සුවිශේෂී වේ. අනතුරට පත් ලංගම බස් රථයේ කොන්දොස්තරවරයාගේ මුදල් බෑගය ද අනතුරත් සමඟ අතුරුදහන් වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.















