මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කරමින් රුපියල් මිලියන 425ක වියදමින් රෝහලට ලබා දුන් අධි තාක්ෂණික යන්ත්‍ර දෙකක් ජනතා අයිතියට පත් කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ලැබුණු මෙම යන්ත්‍ර ජනතා අයිතියට පත් කිරීම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය.
මෙහිදී රුපියල් මිලියන 208ක් වටිනා ESWL යන්ත්‍රය මඟින් මුත්‍රා පද්ධතියේ ගල් සැත්කම්වලින් තොරව අතිධ්වනි තරංග මඟින් කුඩු කර ඉවත් කිරීමට පහසුකම් සැලසෙන අතර, රුපියල් මිලියන 217ක් වටිනා DSA යන්ත්‍රය මඟින් රුධිර වාහිනී රෝග සහ පිළිකා රෝග සඳහා ඉතා නිරවද්‍ය ලෙස ප්‍රතිකාර කිරීමේ අවස්ථාව උදාවනු ඇත. වසර තුනක පමණ කාලයක් මෙම සේවාවන් අක්‍රියව පැවතීම හේතුවෙන් රෝගීන් මුහුණ දුන් දුෂ්කරතා මින් ඉදිරියට මඟ හැරෙන අතර, රෝගීන්ට ඉතා කඩිනමින් සහ සුරක්ෂිතව ප්‍රතිකාර ලබාගෙන එදිනම නිවෙස් බලා යාමට හැකි වීම මෙහි ඇති සුවිශේෂී වාසියකි.















