බීජිං නුවර ටියැන්මෙන් චතුරශ්‍රයේදී ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසට එරෙහිව 1989 වසරේදී දියත් කළ හමුදා මර්දනයට ජූනි 4 වැනිදාට වසර 37ක් සපිරුණි. මෙම ඓතිහාසික සිදුවීමේ මතකයන් වාරණය කිරීමට සහ සමාජයෙන් තුරන් කිරීමට චීන බලධාරීන් කටයුතු කරන බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ චෝදනා කරයි.
1989 ජූනි 4 වැනිදා චීන හමුදා විසින් ටියැන්මෙන් චතුරශ්‍රය සහ ඒ අවට සාමකාමීව උද්ඝෝෂණයේ නිරත වූ සිසුන්, කම්කරුවන් සහ සාමාන්‍ය වැසියන් ඉලක්ක කර දියත් කළ වෙඩි තැබීම්වලින් දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන් එම ස්ථානයේ රැස්ව සිටියේ තමන්ට හිමි මූලික අයිතිවාසිකම් සහ දූෂණයට එරෙහි වගවීමක් ඉල්ලා සිටීම වෙනුවෙනි.
චීනය වෙත සෘජු පණිවිඩයක් නිකුත් කරමින් මාර්කෝ රූබියෝ වැඩිදුරටත් අවධාරණය කළේ, කුමන ආකාරයේ වාරණ පැනවුවද අතීතය මකා දැමිය නොහැකි බවයි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ අයිතිය වෙනුවෙන් ජීවිත පූජා කළ පිරිසගේ පරිත්‍යාගය ලෝකය කිසිදා අමතක නොකරන බවත්, ඔවුනට කවදා හෝ දවසක සාධාරණය ඉටුවනු ඇති බවත් ඔහු සඳහන් කරයි.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවා මෙම සිදුවීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති අතර, දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව හමුදාව යොදා ගැනීම සම්බන්ධයෙන් එදා පටන්ම ජාත්‍යන්තර විරෝධයක් මතුව තිබේ.
















