රටේ පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කරමින් ජනතාවට නව පහසුකම් සැලසීමට රජය ගන්නා උත්සාහයන්ට, ඉන් අවාසි සිදුවන විවිධ මාෆියා කණ්ඩායම් විරුද්ධ වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. ෆිදෙල් කැස්ත්‍රෝ ගුණසමරු උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
රජය අපහසුතා මධ්‍යයේ වුවද ‘මෙට්‍රෝ බස්’ වැනි නවීන ප්‍රවාහන සේවාවන් හඳුන්වා දීමට කටයුතු කරන විට, තමන්ගේ ලාභය අඩුවන පිරිස් ඊට එරෙහිව විවිධ මතවාද පතුරුවන බව පෙන්වා දුන් ඒ මහතා, “ඇතැම් අය කියනවා මේවා අපේ රටට හරියන්නේ නැහැ, මේවා යුරෝපයට විතරයි හරියන්නේ කියලා. එහෙම කියන්නේ අපි හැමදාම ලොරිවල වගේ දුක් විඳිමින් යන්න ඕනෙ කියලද?” යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.
ඕනෑම ක්ෂේත්‍රයක යහපත් වෙනසක් සිදු කිරීමට යාමේදී ඊට එරෙහිව ප්‍රතිරෝධයන් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවත්, මත්ද්‍රව්‍ය පාලනය, පාතාලය මර්දනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සහ රාජ්‍ය සේවයේ විනය ඇති කිරීමට යාමේදී ද එම ක්ෂේත්‍රවලින්ම විරෝධතා එල්ල වන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














