ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්වචනය කර ඇති පරිදි, සිගරට් නිෂ්පාදනය, නැව්ගත කිරීම, බෙදා හැරීම සහ විකිණීම ඇතුළු නීති විරෝධී ඕනෑම හැසිරීමක් ‘නීති විරෝධී සිගරට් වෙළඳාම’ ලෙස හඳුන්වන අතර, එය ජාවාරම් නිෂ්පාදන (Smuggled), ව්‍යාජ නිෂ්පාදන (Counterfeits) සහ අඩු මිලට ඇති සිගරට් (Cheap/illicit whites) යන ප්‍රධාන කාණ්ඩ 3කින් සමන්විත වෙයි. කෙසේ වුවද, දුම්කොළ සමාගම් විසින් ලාභ ඉපැයීම සහ දුම්කොළ පාලන ප්‍රතිපත්ති අඩපණ කිරීම සඳහා තමන්ගේම නිෂ්පාදන රහසිගතව ජාවාරම් කිරීමට (Illicit Trade) සෘජුවම සම්බන්ධ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ බාත් විශ්වවිද්‍යාලයේ (University of Bath) පර්යේෂණ පෙන්වා දෙයි. බදු හෝ මිල වැඩි කිරීම් අඩාල කිරීම, ඇසුරුම් නීති සහ වයස් සීමාවන් වැනි ප්‍රතිපත්ති බිඳ දැමීම මෙන්ම “සියලු බදු පැනවීම් නිසා ජාවාරම් වැඩිවේ” යන ව්‍යාජ තර්කය සමාජගත කිරීම සඳහා දුම්කොළ සමාගම් විසින් මෙම ජාවාරම් ක්‍රියාවලිය තම ව්‍යාපාරික උපාය මාර්ගයක් ලෙස භාවිත කරනු ලබයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ 2023 ජූලි මස 20%කින් සහ 2024 ජනවාරි මස 14%කින් සිගරට් බදු වැඩි කළ අවස්ථාවන්හිදී, දුම්කොළ කර්මාන්තය විසින් මාධ්‍ය සහ ඇතැම් නොමඟ යවන පර්යේෂණ වාර්තා හරහා නීති විරෝධී වෙළඳාම අතිශයෝක්තියට නැංවීමට කටයුතු කර තිබේ. ඇතැම් දේශීය වාර්තා මඟින් ලංකාවේ සිගරට් ජාවාරම 20%කට වඩා වැඩි බව ප්‍රකාශ කළ ද, එම දත්ත මුළුමනින්ම දුම්කොළ සමාගම් විසින්ම නිර්මාණය කරන ලද විශ්වාසනීයත්වයෙන් තොර මූලාශ්‍ර වන අතර, ඊට හාත්පසින්ම වෙනස්ව ශ්‍රී ලංකා රේගුවේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට අත්අඩංගුවට ගැනෙන ජාවාරම් සිගරට් ප්‍රමාණය 1%කටත් වඩා අඩු මට්ටමක පවතී. දුම්කොළ සමාගම්වල තර්ක බිඳ හෙළමින් සිගරට් බදු වැඩි කළ ද රාජ්‍ය ආදායම අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර, මිල උච්චාවචනයන්ට අමතරව රටවල් අතර පවතින මිල විචලනයන් සහ ලිහිල් දඬුවම් ද මෙම ජාවාරම්වලට හේතු වී ඇත. 2016 පෙබරවාරි 8 වන දින ශ්‍රී ලංකා රජය “දුම්කොළ නිෂ්පාදනවල නීති විරෝධී වෙළඳාම තුරන් කිරීමේ ජාත්‍යන්තර ගිවිසුමට” (Protocol to Eliminate Illicit Trade in Tobacco Products) අත්සන් තබා ඇති බැවින්, මෙම නීති විරෝධී ජාවාරම් සහ සමාගම්වල කූඨ ප්‍රචාරණයන් මැඩපැවැත්වීමට රජය සෘජුවම බැඳී සිටියි.
















