ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන ‘කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය’ (Regional Comprehensive Economic Partnership – RCEP) හා එක්වීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සාර්ථක රාජ්‍යතාන්ත්‍රික පියවර කිහිපයක් ගෙන ඇත. ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%කට වඩා වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන මෙම වෙළඳ කණ්ඩායමට එක්වීම සඳහා 2023 වසරේදී ශ්‍රී ලංකාව සිය මූලික කැමැත්ත ප්‍රකාශයට පත් කළේය.
මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වන විට සුවිශේෂී ප්‍රගතියක් අත්කරගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා අනාවරණය කළේය. ඒ අනුව, RCEP සාමාජිකයන් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් මෙන්ම ඉන්දුනීසියාව ද ශ්‍රී ලංකාවේ මෙම සාමාජිකත්ව ප්‍රයත්නය සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට එකඟතාව පළ කර තිබේ.
මෙම ගිවිසුමට එක්වීම තුළින් ආසියානු සහ පැසිෆික් කලාපයේ ප්‍රධාන ආර්ථික බලවතුන්ගේ වෙළඳපොළ වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව ලැබීම, දේශීය නිෂ්පාදන සඳහා නව අපනයන වෙළඳපොළවල් සොයා ගැනීමට සහ අපනයන අංශය දියුණු කිරීමට හැකිවීම මෙන්ම කලාපීය සහ ගෝලීය සැපයුම් දාමයන්හි ශ්‍රී ලංකාවේ දායකත්වය ශක්තිමත් කරමින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවස්ථාව උදාවීම වැනි වාසි රැසක් ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආසියාන් කලාපීය රටවල් 10ක් සහ චීනය, ජපානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල් 15කින් සමන්විත මෙම කණ්ඩායමට එක්වීම, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ කලාපීය ආර්ථික ඒකාබද්ධතාව සඳහා තීරණාත්මක පියවරක් වනු ඇත.
















