රතු සහ සුදු සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ හතළිස් දහසකට (140,000) ආසන්න ප්‍රමාණයක් මේ වන විට වී අලෙවි මණ්ඩලය සතුව පැවතීමත්, අවශ්‍ය පරිදි ආදේශක සහල් තොග ආනයනය කර තිබීමත් හේතුවෙන් එළඹෙන මහ කන්නය අවසන් වනතුරු රට තුළ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව වෙළෙඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු ඇමැති වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි. අනුරාධපුරයේදී ඊයේ (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය හේතුවෙන් මිල ඉහළ යෑම පාලනය කිරීමටත්, පාරිභෝගිකයා මෙන්ම දේශීය ගොවියා ආරක්ෂා කිරීමටත් රජය ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇති බව හෙතෙම කියා සිටියේය. ඒ අනුව හිඟයට පිළියමක් ලෙස මෙම වසරේදී ආදේශක සහල් පමණක් ආනයනය කිරීමට රජය පියවර ගෙන ඇත.
මීට අමතරව ගොවි ජනතාව දිරිගැන්වීම වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් දැක්වූ ඇමැතිවරයා, පසුගිය මහ සහ යල කන්නයන්හිදී මෙන්ම එළඹෙන මහ කන්නයට ද අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ආනයනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව පැවසීය. එමෙන්ම ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගෙන ඇති බව ඔහු සිහිපත් කළේය.
දේශපාලන කරුණු පිළිබඳව ද අදහස් දැක්වූ ඇමැති වසන්ත සමරසිංහ මහතා, 2029 වසරේදී ද රටේ ජනාධිපතිවරයා වන්නේ අනුර කුමාර දිසානායක මහතා බවත්, ඒ නිසා කිසිවෙකු බිය විය යුතු නැති බවත් සඳහන් කළේය. එමෙන්ම විපක්ෂය විසින් ‘Rebuilding Sri Lanka’ ව්‍යාපෘතියේ මුදල් පිළිබඳව රට තුළ අනියත බියක් ඇති කිරීමට උත්සාහ කළ ද, එම සියලු මුදල් රජය සතුව ඉතා සුරක්ෂිතව පවතින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















