අදට යෙදී ඇති ජාතික දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අංශ විසින් මහජනතාව දුම්කොළ භාවිතයෙන් වළක්වා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දරමින් සිටියදී, රජයේ ආදායම් අහිමි කරමින් දුම්කොළ කර්මාන්තයට ලබා දී ඇති අසාර්ථක බදු ප්‍රතිපත්තියක් පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.Verité Research ආයතනයේ නවතම දත්ත වාර්තාවන්ට අනුව, 2023 වසර සඳහා පමණක් ක්‍රියාත්මක නොකළ දුම්වැටි බදු සූත්‍රය හේතුවෙන් රජයට අහිමි වී ඇති ආදායම රුපියල් කෝටි 4,500කි .
2019 වසරේදී හඳුන්වා දුන් මෙම බදු සූත්‍රය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම්, මෙම අමතර ආදායම හරහා රටේ ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන ලබා දීමට තිබූ ඉඩකඩ බොහෝය. විශේෂයෙන්ම, 2021 වසරේ අයවැය හරහා වඩාත්ම අලෙවි වන දුම්වැටි සන්නාමයක බදු ප්‍රතිශතය 50%කින් කපා හැරීමට කටයුතු කිරීම රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතු කරයි.
ජනතාව මත බදු බර පටවමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පවා වැට් බදු අය කරන අතරතුර, දුම්කොළ වැනි සමාජයට හානිකර නිෂ්පාදන සඳහා මෙවැනි දැවැන්ත සහන ලබා දුන්නේ කවුරුන්ද? මෙම අදූරදර්ශී බදු තීරණ පිටුපස සිටින වගකිව යුත්තන් වහාම රට හමුවේ හෙළි කළ යුතුය. දුම්කොළ විරෝධී දිනයක් සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ බලධාරීන් මෙම උවදුරට එරෙහිව හඬ නගද්දී, මෙවැනි බදු සහන ලබා දෙමින් කර්මාන්තයට වාසි සැලසූ එම ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ද්විත්ව පිළිවෙත ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.
















