27 April 2024
#ව්‍යාපාර

Uber හා ශ්‍රීලංකා රතු කුරුස සමාජය සමග පීඩාවට පත් ජනතාවට වියළි ආහාර සහ අත්‍යවශය ඖෂධ ලබාදීමට පරිත්‍යාග කරයි

Uber Sri Lanka මෙරට ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක් පරිත්යාග කරන බව පසුගියදා නිවේදනය කළේ ය.

රට පුරා අත්‍යවශය ආහාර හා ඖෂධ බෙදාදීම සඳහා මෙම අරමුදල් භාවිතා කෙරෙනු ඇත.

මේ යටතේ Uber රියදුරන් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන් ඇතුළුව 10,000 කට අධික පිරිසකට, සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට ප්රමාණවත් වියළි ආහාර ද්රව්ය මලු හිමිවනු ඇත. මීට අමතරව 30,000 කට අධික පිරිසකට සේවාවන් සලසන ග්රාමීය රෝහල් 15 කට අත්‍යවශය ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමටද කටයුතු යොදා තිබේ. මෙම ඖෂධ සහ උපකරණ සෘජුවම ජාත්‍යන්තර සැපයුම්කරුවන් වෙතින් මිලදීගනු ලබනු ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින Uber කලාපීය සාමාන්‍යාධිකාරි (ආසියා පැසිෆික් කලාපය) සස්කියා ද ජෝන් මහත්මිය සහ ශ්‍රීලංකා රතු කුරුස සංගමයේ සභාපති ජගත් අබේසිංහ මහතා විසින් මෙම හවුල්කාරීත්වය නිල වශයෙන් නිවේදනය කරන ලදි. මෙම අවස්ථාවට Uber Sri Lanka සාමාන්යාධිකාරී භාව්නා දද්ලානි ජයවර්ධන මහත්මිය සහ ශ්‍රීලංකා රතුකුරුස සංගමයේ ශාඛා විධායක නිලධාරිනී කුමාරි කොතලාවල මහත්මියද එක්වූහ.

“ශ්‍රී ලංකාව ඇතුළුව අප ව්‍යාපාර කටයුතු සිදුකරන රටවල ප්‍රජාවන්ට අත්වැලක් වීමට අප සෑම විටම උත්සාහ කරනවා. ශ්‍රී ලංකාවේ මේ මුහුණ දෙමින් සිටින්නේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයකට බව පැහැදිලියි. එම නිසා මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සමග එක්වී මෙවැනි සත්කාරයක් සිදුකිරීමට හැකිවීම අපට සතුටක්. ශ්‍රී ලංකාවත් එහි ජනතාවත් ඉතා ශක්තිමත් නිසා මෙම අභියෝග ජයගනිමින් පෙරටත් වඩා ධෛර්ය සම්පන්න ලෙස නැගී සිටීමට ඔවුන්ට හැකිවනු ඇති බවට සැකයක් නැහැ.” Uber කලාපීය සාමාන්යාධිකාරී (ආසියා පැසිෆික් කලාපය) සස්කියා ද ජෝන් මහත්මිය පැවසුවා ය.

“ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා Uber දියත් කර ඇති මෙම වැඩසටහන ඉතාමත් කාලෝචිත වැඩසටහනක්. මේ දක්වා එවැනි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඉටුකර ඇති මෙහෙවර නිසා, මෙම නව වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා Uber අප කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. මේ අවස්ථාවේදී මෙවැනි හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීම අතිශයින් වැදගත්.” ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ සභාපති ජගත් අබේසිංහ මහතා පැවසී ය.

COVID-19 රෝග ව්‍යාප්තිය ආරම්භ වූ පසුව ශ්‍රීලංකාවේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගැනීමට අත්වැලක් වීම සඳහාද Uber Sri Lanka සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව කටයුතු කළේ ය. ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්, වැඩිහිටියන් සහ ඉහළ අවදානමකට මුහුණ පා සිටි අනෙකුත් පුරවැසියන් එන්නත් මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා Uber Sri Lanka විසින් ශ්‍රීලංකා රතු කුරුස සමාජය වෙත ගමන් වාර 50,000 ක් පරිත්‍යාග කරන ලදි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *