ජූනි මස 05 වැනිදාට යෙදුණු ලෝක පරිසර දිනය අර්ථගන්වමින්, ටෝකියෝ සිමෙන්ති සමාගමේ කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ වෙරළ තීරය පුරා කඩොලාන පැළ 100,000ක් සිටුවීමේ සුවිශේෂී ජයග්‍රහණය සනිටුහන් කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළබඩ ධීවර ප්‍රජාවන් සහ වෙරළ සංරක්ෂණ ප්‍රජා කණ්ඩායම් වසර ගණනාවක් පුරා ලබාදුන් අද්විතීය සහයෝගීතාවය හේතුවෙන් මෙම සන්ධිස්ථානය ළඟා කර ගැනීමට හැකි වූ බව සමාගම කෘතඥපූර්වකව සිහිපත් කරයි.
2012 වසරේදී ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලා පරිශ්‍රයේ කඩොලාන පැළ තවානක් පිහිටුවීමෙන් ඇරඹි මෙම දූරදර්ශී ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ, යුධ සමයේදී ආරක්ෂක හේතූන් මත විනාශ වූ වෙරළබඩ කඩොලාන වනාන්තර නැවත ප්‍රතිස්ථාපනය කිරීමයි. එහි පළමු පියවර ලෙස නැගෙනහිර සිමෙන්ති කර්මාන්ත ශාලාවට යාබද අක්කර 20ක භූමි ප්‍රදේශයක කඩොලාන පැළ 17,000කට අධික ප්‍රමාණයක් රෝපණය කළ අතර, අද වන විට මෙම මුලපිරීම දිවයිනේ උතුරු සහ ඊසානදිග වෙරළ තීරය පුරා පුළුල්ව දියත් කර ඇත. මේ වන විට මෙම තවාන මඟින් දේශීය කඩොලාන විශේෂ අටකට අයත් පැළ 7,500ක් වාර්ෂිකව රෝපණය කර බෙදා හරිනු ලබයි.
මිරිදිය සහ කරදිය මිශ්‍ර වන පරිසර පද්ධතියක වැඩෙන කඩොලාන ශාක, ගොඩබිම ඛාදනය වීම වැළැක්වීමට මෙන්ම සංක්‍රමණික පක්ෂීන්, උරගයින් සහ මත්ස්‍ය විශේෂ රැසකගේ ජීවන චක්‍රය සුරැකීමට සුවිශේෂී මෙහෙවරක් ඉටු කරයි. සංවර්ධන ක්‍රියාකාරකම් සහ නීති විරෝධී ආක්‍රමණයන් හේතුවෙන් සීග්‍රයෙන් විනාශ වන මෙම පද්ධතීන් රැකගැනීම ගෝලීය උණුසුම පාලනය කිරීමට ද අත්‍යවශ්‍ය වේ. රටත්, අනාගත පරපුරත් වෙනුවෙන් ඉටුකළ මෙම හරිත මෙහෙවර පිළිබඳව ටෝකියෝ සිමෙන්ති සමූහය නිහතමානීව ආඩම්බර වන අතර, පරිසරය සුරැකීම තම ව්‍යාපාරික ගමන් මඟේ නොබිඳිය හැකි කොටසක් බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.















