වයර් උගුලකට හසු වී සිටි කඳුකර දිවියෙක් ආරක්ෂිතව මුදා ගැනීම සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වනජීවී පශු වෛද්‍ය අකලංක පිනිදෙනිය මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් අදාළ ප්‍රදේශයට ගොස් තිබේ.
උගුලේ පැටලී සිටි සතාට අවශ්‍ය වන නිර්වින්දන ඖෂධ විදීම සඳහා වෛද්‍යවරයා උගුල අසලට ළඟා වූ අවස්ථාවේදී, කිසිදු ලෙසකින් බලාපොරොත්තු නොවූ අයුරින් එම දිවියා උගුලෙන් මිදී හදිසියේම වෛද්‍යවරයා වෙත පැන ප්‍රහාරයක් එල්ල කර ඇත.
ප්‍රහාරයෙන් පසු එම දිවියා වහාම කැලෑවට පලා ගොස් ඇති අතර, වාසනාවකට මෙන් ප්‍රහාරයෙන් වනජීවී පශු වෛද්‍යවරයාට සිදුව ඇත්තේ සුළු තුවාල පමණි.
මෙම උගුලට හසු වී ඇත්තේ මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුතුව හොඳින් වැඩුණු සත්ත්වයෙකු බවත්, උගුලට හසුවුවද සතාට බරපතල තුවාල කිසිවක් සිදුවී නොතිබූ බැවින් එයට උගුලෙන් බිඳී පලා යාමට තරම් ප්‍රබල ශක්තියක් තිබී ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.














