ඕස්ට්‍රේලියාවට ගෙවීමට සූදානම් කර තිබූ මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක ණය මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සිද්ධිය වූ කාලයේදී රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවාස්ථ පුහුණුවක නිරතව සිට ඇති බවත්, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ඊමේල් සර්වරය තුළ සිදුවූ සයිබර් අපරාධයක් හේතුවෙන් මෙම වංචාව සිදුවී ඇති බවත්ය. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.














