27 April 2024
#ක්‍රීඩා

රෝල් බෝල් ජාතික ශුරතාවය දිනු අනුරාධපුර දිස්ත්‍රික් රෝල් බෝල් කණ්ඩායමට උපහාර පිරිනමයි

2016 වසරේ සිට 2022 වසර දක්වා අඛණ්ඩව රෝල් බෝල් ජාතික ශුරතාවය දිනු අනුරාධපුර දිස්ත්‍රික් රෝල් බෝල් කණ්ඩායමට උපහාර දැක්වීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙවර 2022 වසරේ රෝල් බෝල් ජාතික ශූරතාවලිය ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේදී පැවැත්විණි. වයස අවුරුදු 11න් පහළ කාන්තා ශූරතාවය හා පිරිමි ශූරතාවය ද, 14න් පහළ පිරිමි ශූරතාවය සහ 17න් පහළ පිරිමි ශූරතාව, ජේෂ්ඨ කාන්තා ශූරතාවය හා පිරිමි ශූරතාවය යන අංශ වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බෝල් කණ්ඩායම තරඟාවලියේ සමස්ථ ශූරතාවයම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දිනා ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 53ක් ජයග්‍රහණය කර ඇත.

මෙහිදී රෝල් බෝල් ප්‍රධාන පුහුණුකරු වන එච්.පී.ආර්. අරුණ කුමාර මහතා සහ කාන්තා පුහුණුකාරිනිය එච්.එම්. චලනී මධුෂානි හේරත් මහත්මිය ද ඔවුන්ගේ මෙම ක්‍රීඩාව සඳහා කරනු ලබන කැපකිරීම වෙනුවෙන් විශේෂ ඇගයීමට ලක්කරන ලදී.

උතුරු මැද පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ මෙම උත්සවය සඳහා ප්‍රධාන පුහුණුකරු සහ කාන්තා පුහුණුකාරිය ද රන් පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද අනුරාධපුර දහයියාගම මංසන්ධියේදී පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක ජේ. රල්යුදීන් මහතා විසින් පිළිගෙන විශේෂ රථ පෙළපාලියක් මගින් කැඳවාගෙන ආ අතර අනුරාධපුර නගරය ප්‍රධාන පාසල්වල දරු දැරියන් මග දෙපස රැස්වී ඔවුන්ට උණුසුම් පිළිගැනීමට ලක්කරන ලදී.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩා,ර ආණ්ඩුකාර ලේකම් නයනා දසනායක, පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් සම්පත් ධර්මදාස, පළාත් අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් රෝයි නිශාන්ත ඇතුළු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් ,පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක තරිදු දර්ශන මාපලගම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *