රටේ වෙරළබඩ හා සාගර පරිසර පද්ධති ආරක්ෂා කරගැනීමේ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී සැතපුම් කණුවක් සනිටුහන් කරමින්, ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේ ස්ථාපිත කරමින් පවතින නවීන කොරල් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ විද්‍යාගාර පරිශ්‍රය පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්ව තිබේ. නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොරල් විශේෂ දෙසීය පනස් පහකට ආසන්න සංඛ්‍යාවක් අතුරින් දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ බ්ලැක් කොරල් සහ රෙඩ් කොරල් විශේෂ කෘතිමව වගා කර සාගර පත්ලේ රෝපණය කිරීමේ පුරෝගාමී වැඩපිළිවෙළක් මෙමඟින් ක්‍රියාත්මක වේ.
සාගරයේ පවතින ස්වභාවික උෂ්ණත්වය සහ පාරිසරික තත්ත්වයන් විද්‍යාගාරය තුළ කෘතිමව ප්‍රතිනිර්මාණය කරමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය දැනටමත් අපේක්ෂිත සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් සිටින අතර, ඉදිරි සැප්තැම්බර් මස අවසන් වන විට මෙහි සමස්ත ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය. දේශගුණික විපර්යාස හමුවේ අතිශයින් සංවේදී වන ශ්‍රී ලංකාවේ සාගර ජෛව විවිධත්වය මෙන්ම සමස්ත සමුද්‍රීය පරිසරය සුරක්ෂිත කිරීම අරමුණු කරගත් රජයේ තිරසාර පාරිසරික ප්‍රතිපත්තියේ ප්‍රායෝගික දිගුවක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුනාගත හැකිය.
මෙම මධ්‍යස්ථානය ඉදිරියේදී විශ්වවිද්‍යාල සිසුන්, දේශීය මෙන්ම විදේශීය පර්යේෂකයන් සහ මහජනතාව සඳහා විවෘත වන උසස් පෙළේ කොරල් කෞතුකාගාරයක් හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇති අතර, එය මෙරට සාගර විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් වනු ඇත. අනාගත පරපුර උදෙසා සාගර සම්පත් තිරසාරව කළමනාකරණය කරමින් ස්වභාවික පරිසර පද්ධති සුරක්ෂිත කිරීම වෙනුවෙන් දිවයින පුරා මෙවැනි පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘති රැසක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය මේ වන විටත් පුළුල් සැලසුම් සකස් කර ඇත.














