ඇමෙරිකානු පෙන්ටගනය සතුව දැවැන්ත අවි සහ අමතර පතොරම් තොග පවතින බව පවසමින්, ඇමෙරිකානු හමුදාවේ අවි හිඟයක් පවතින බවට පළවන මාධ්‍ය වාර්තා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ලෝක බලශක්ති වෙළෙඳපොළට අතිශය තීරණාත්මක හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය නියාමනය කිරීම සඳහා වන ඉරාන – ඕමාන් ගිවිසුම අවසන් අදියරට පැමිණ ඇති බව තෙහෙරානය නිවේදනය කරයි.
පෙන්ටගනයේ දීර්ඝ පරාසැති මිසයිල සහ ගුවන් ආරක්ෂක මිසයිල තොග සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවත්, ඒ හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප් සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අතර කැම්ප් ඩේවිඩ්හිදී උණුසුම් සංවාදයක් සිදුවූ බවත් ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කර තිබුණි. කෙසේ වෙතත්, ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් මෙම පුවත මුළුමනින්ම අසත්‍ය එකක් බව ප්‍රකාශ කළාය.
සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, ඇමෙරිකාව සතුව ප්‍රමාණවත් තරම් අවි පවතින බවත්, ආරක්ෂක නිෂ්පාදන සමාගම් වේගයෙන් නිෂ්පාදනය ඉහළ නංවා ඇති බවත්ය. මෙවැනි “දේශද්‍රෝහී ප්‍රකාශ” මාධ්‍ය වෙත කාන්දු කළ පිරිස් සොයා පරීක්ෂණ පවත්වන බවත්, ඔවුන්ට එරෙහිව වසර ගණනාවක බන්ධනාගාර දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන මාර්ග පිළිබඳව ඉරානය සහ ඕමානය අතර පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇති අතර, අදාළ ගිවිසුම අත්සන් කිරීමේ අවසන් අදියරට පැමිණ ඇති බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ඝරීබාබාඩි ප්‍රකාශ කළේය. නව සැලසුමට අනුව සමුද්‍ර සන්ධිය මැදින් නව “මැද නාවික තීරුවක්” (Middle corridor) ස්ථාපිත කිරීමට දෙපාර්ශ්වය නාවික තලාකානාංක සකස් කර තිබේ.
යුද්ධයට පෙර දිනකට නෞකා 140ක් පමණ ගමන් කළ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පසුගිය පැය 24 තුළ ගමන් කර ඇත්තේ නෞකා 12ක් වැනි ඉතා අඩු සංඛ්‍යාවකි. එමෙන්ම, ඕමාන් වෙරළට ඔබ්බෙන් ගමන් කළ තෙල් නැවක් අසලින් පිපිරීම් හඬවල් දෙකක් ඇසුණු බවටද වාර්තා වේ.
යේමනයේ හවුති සංවිධානය විසින් සෞදි අරාබියට අයත් තෙල් නැව් දෙකකට රතු මුහුදේ යැන්බු වරාය ආසන්නයේදී සහ ඒඩන් බොක්කේදී ප්‍රහාර එල්ල කර ඇත. ලෝක තෙල් ප්‍රවාහනයෙන් 10%-12% අතර ප්‍රමාණයක් ගමන් කරන බැබ් එල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව එල්ල වන මෙවැනි ප්‍රහාර හේතුවෙන්, නෞකාවලට දීර්ඝ විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුව තිබේ.














