නීති විරෝධී අයුරින් බලපත්‍ර නොමැතිව ආනයනය කරන ලද ජංගම දුරකථන අලෙවිසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ජංගම දුරකථන 67ක තොගයක් සමඟ පිටකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. පිටකොටුව ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ වෙළෙඳසැල් සම්බන්ධයෙන් පොලිසිය විසින් දිගින් දිගටම සිදු කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සිදු කර ඇත. මේ වන විට එවැනි වෙළෙඳසැල් දහයකට අධික සංඛ්‍යාවකට එරෙහිව අධිකරණයේ නඩු ගොනු කර ඇති බවද පොලිසිය පවසයි.
අගෝස්තු 04 වන දින සිදු කරන ලද මෙම වැටලීමේදී, පිටකොටුව දෙවන හරස් වීදියේ බිම් මහළට යටින් කාලයක් තිස්සේ රහසිගතව පවත්වාගෙන ගිය මෙම අලෙවිසැල සොයා ගැනීමට පොලිසිය සමත් විය. මෙම ජංගම දුරකථන තොගය ඉන්දියාවේ සිට කිසිදු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී අයුරින් ආනයනය කරන ලද ඒවා බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යවා ඇති අතර, සැකකරු හෙට (අගෝස්තු 07) කොළඹ අලුත්කඩේ අංක 03 දරන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පිටකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත ද සිල්වාගේ මෙහෙයවීමෙන්, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න ඇතුළු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














