ට්‍රම්ප්ගෙන් ඖෂධ මිල අඩු කිරීමේ නව ගිවිසුම් රැසක්: ඖෂධ සමාගම් නවයක් මිලකරණ ගිවිසුම්වලට අත්සන් තබයි
ඇමරිකානු රජයේ ‘Most-Favored-Nation’ මුලපිරීම යටතේ තවත් ඖෂධ සමාගම් නවයක් රාජ්‍ය මෙඩිකෙයාර් (Medicaid) වැඩසටහන් සඳහා අඩු මිලට ඖෂධ අලෙවි කිරීමට එකඟ වී ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඖෂධ මිල අඩු කිරීමේ අරමුණින් නව ගිවිසුම් රැසක් එළිදක්වා තිබේ. වොෂින්ටන් නුවර ධවල මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, මෙම නව ගිවිසුම් හරහා ඉදිරියේදී ඇමරිකା එක්සත් ජනපදයට බිලියන සංඛ්‍යාත ඩොලර් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවයි.
පසුගිය 2025 මැයි මාසයේදී ඖෂධ සමාගම් 17ක් සමඟ අත්සන් තබන ලද මූලික විධායක නියෝගයේ දිගුවක් ලෙස, තවත් සමාගම් නවයක් මෙම ගිවිසුමට එකතු වී තිබේ. ඒ අනුව මේ වන විට දේශීය ඖෂධ වෙළඳපොළෙන් 90%ක්ම මෙම ව්‍යාපෘතිය යටතට ආවරණය වී ඇති බව ට්‍රම්ප් පෙන්වා දෙයි. මෙම නව ගිවිසුම් හරහා ඉදිරි කෙටි කාලය තුළ ඇමරිකානුවන්ට ඩොලර් බිලියන 600කට අධික මුදලක් ඉතිරි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඖෂධ මිල 50%, 60%, 70% හෝ 80%කින් පහත වැටෙනු ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙම නවතම ගිවිසුමට අත්සන් තැබූ සමාගම් අතරට Alcon, Astellas Pharma, BeOne Medicines, BridgeBio, CSL, Kyowa Kirin, Sun Pharma, Teva Pharmaceuticals සහ UCB යන සමාගම් ඇතුළත් වේ. ඊට අමතරව, අදාළ සමාගම් විසින් ඇමරිකාව තුළ ඖෂධ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා බිලියන ගණනක ආයෝජන සිදු කිරීමට ද ප්‍රතිඥා දී ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා මානව සේවා ලේකම් රොබට් එෆ්. කෙනඩි ජුනියර්, වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සහ මෙඩිකෙයාර් හා මෙඩිකේඩ් සේවා මධ්‍යස්ථානවල පරිපාලක ආචාර්ය මෙහ්මට් ඔස් යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ.
















