අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලියෝ පාප් වහන්සේ අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින්, ට්‍රම්ප් විසින් සිය ‘Truth Social’ ගිණුම හරහා පාප් වහන්සේට එරෙහිව නව ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඉරානය තුළ පසුගිය මාස දෙකක කාලය තුළ නිරායුධ විරෝධතාකරුවන් 42,000ක් පමණ ඝාතනය කර ඇති බවත්, ඉරානය සතුව න්‍යෂ්ටික බෝම්බයක් පැවතීම කිසිසේත් පිළිගත නොහැකි බවත් ඔහු එහි සඳහන් කර ඇත. මීට පෙර ද පාප් වහන්සේ “විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දුර්වල” බව පවසමින් විවේචනය කළ ට්‍රම්ප්, “අමෙරිකාව යළි පැමිණ ඇත” (AMERICA IS BACK!!!) යනුවෙන් සිය ප්‍රකාශය අවසන් කර තිබේ.
අමෙරිකානු ජාතිකත්වයක් සහිත පළමු පාප් වහන්සේ වන ලියෝ පාප් වහන්සේ, අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගෙන යන යුදමය ක්‍රියාමාර්ගය දැඩි ලෙස විවේචනය කර තිබුණි. එයට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් එල්ල කරන මෙම චෝදනා හමුවේ පාප් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ තමන් ට්‍රම්ප් පරිපාලනයට බිය නොවන බවත්, යුද්ධයේ බිහිසුණු බව හෙළි කිරීමට පසුබට නොවන බවත්ය. කෙසේ වෙතත්, ඉරානයේ මියගිය සංඛ්‍යාව පිළිබඳව ට්‍රම්ප් ඉදිරිපත් කරන දත්ත සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ඉරාන රජය ඉදිරිපත් කරන දත්ත අතර විශාල පරස්පරතාවයක් පවතින බව වාර්තා වේ. එසේම, ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවන බවට මෙතෙක් සාක්ෂි හමුවී නොමැති බව ජාත්‍යන්තර පරමාණූක බලශක්ති ඒජන්සිය ද තහවුරු කර තිබේ.














