එක්සත් ජනපද සහ ඊශ්රායල එල්ල කළ ගුවන් ප්රහාර හමුවේ ඉරානයේ ඉහළම දේශපාලන සහ හමුදා නායකයින් රැසක් ඝාතනය වීමෙන් පසු සාකච්ඡා කිරීමට කිසිදු නායකයෙකු ඉතිරිව නොමැති බව පවසමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ආන්දෝලනාත්මක ප්රකාශයක් සිදු කර තිබේ. ඉරානයේ පළමු හා දෙවන මට්ටමේ නායකයින් මුළුමනින්ම නැසී ඇති බැවින් තමාට ඉරාන නායකයින් ඝාතනය කිරීම තාවකාලිකව නැවැත්වීමට සිදුව ඇති බව ට්රම්ප් පවසා ඇති අතර, නොවැම්බර් 3 වන දින පැවැත්වෙන අමෙරිකානු මධ්යකාලීන මැතිවරණයෙන් පසු නැවතත් දැවැන්ත ප්රහාර මාලාවක් ආරම්භ කරන බවට ද ඉඟි පළ කර ඇත.
අමෙරිකාව තෙවැනි ගුවන් යානා වාහක නෞකා සමූහයක් සහ 10,000 ක මැරීන් භට පිරිසක් මැදපෙරදිග කලාපයට යොදවමින් බලය තහවුරු කිරීමට කටයුතු කරද්දී, ඉරාන විදේශ අමාත්ය අබ්බාස් අරග්චි අවධාරණය කරන්නේ අමෙරිකානු තර්ජන හමුවේ සිය රාජ්ය තාන්ත්රික ස්ථාවරය වෙනස් නොවන බවයි. හෝමූස් සමුද්ර සන්ධියේ නාවික ආරක්ෂාව සහ පරිපාලනය සම්බන්ධයෙන් නව යථාර්ථයන් නිර්මාණය වී ඇති බවත්, අමෙරිකාව නැවතත් යුදමය ක්රියාමාර්ගවලට එළඹුණහොත් අතීතයට වඩා බරපතල ප්රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඉරානය සෘජුවම අනතුරු අඟවා සිටී.
ගෝලීය තෙල් සැපයුමෙන් වැඩි ප්රමාණයක් ගමන් ගන්නා හෝමූස් සමුද්ර සන්ධිය ආශ්රිතව යළිත් හමුදාමය උණුසුම ඉහළ යාම ඉදිරි දිනවලදී ජාත්යන්තර ඉන්ධන වෙළඳපොළට මෙන්ම ලෝක ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. දෙපාර්ශ්වයම යුදමය වශයෙන් සූදානම් වන පසුබිමක, මැදපෙරදිග කලාපය පුරා ඇති විය හැකි නව අර්බුදකාරී තත්ත්වය හමුවේ ජාත්යන්තර ප්රජාවේ දැඩි අවධානයක් මේ වන විට මෙම භූ-දේශපාලනික ගැටුම වෙත යොමුව තිබේ.














