ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි උපන්දිනය සමරන අද (14) දිනයේදී, ඔහු විසින් ලෝකයටම දායාද කිරීමට අපේක්ෂා කළ ඓතිහාසික ඇමරිකානු – ඉරාන සාම ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය දේශපාලන අවිනිශ්චිතතාවයකට ලක්ව තිබේ. ධවල මන්දිරයේ දකුණු තණතිල්ලේ පැවැත්වෙන ‘UFC Freedom 250’ ක්‍රීඩා උළෙලේ උත්කර්ෂවත් සමාප්තියක් ලෙස මෙම සාම ගිවිසුම අත්සන් කිරීමට ට්‍රම්ප් සැලසුම් කර තිබුණද, ඉරානයෙන් ලැබෙන වාර්තා අනුව එය ට්‍රම්ප්ට එල්ල වූ දේශපාලන උගුලක් බවට පත්වීමේ අවදානමක් මතු වී ඇත.
ඉරානයේ අර්ධ නිල පුවත් ඒජන්සියක් වන ‘ෆාර්ස්’ (Fars) වාර්තා කරන පරිදි, ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් ටෙහෙරානය තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැත. ගිවිසුමේ දේශපාලන, නීතිමය සහ තාක්ෂණික කරුණු තවමත් ‘සමාලෝචනය’ වෙමින් පවතින බව පවසමින් ඉරානය අත්සන් තැබීම හිතාමතාම කල් දමමින් සිටී. මෙම තත්ත්වය හමුවේ ජිනීවා නුවර සිටින උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් අතේ කිසිදු අත්සන් කළ ලියවිල්ලක් නොමැතිව අසරණ වී සිටින අතර, ට්‍රම්ප්ට මෙම දැවැන්ත ජනකාය ඉදිරියේ හිස් අතින් පෙනී සිටීමට සිදුවීමේ අවදානමක් පවතී.
මෙය ට්‍රම්ප්ගේ රාජ්‍යතාන්ත්‍රික සාර්ථකත්වයක් ලෙස පෙන්වීමට උත්සාහ කළ අවස්ථාවක, ඉරානය විසින් ඔහු මෙලෙස ‘අපහසුතාවයට’ පත් කිරීම, විපක්ෂයට ඔහුට එරෙහිව ප්‍රබල ආයුධයක් වී තිබේ. තමා තෙහෙරානය විසින් නොමඟ යවා ඇති බවට වන චෝදනා හමුවේ, ට්‍රම්ප්ගේ මෙම උපන්දින සැමරුම සහ සාම ගිවිසුම සැබෑ ජයග්‍රහණයක් ද නැතහොත් දේශපාලනික පරාජයක් ද යන්න තීරණය කිරීමට තවත් පැය කිහිපයක් ගතවනු ඇත.
















