ඉරාන රජය විසින් එරට විරෝධතාකරුවන් නොසිතූ විරූ මට්ටමින් ඝාතනය කරමින් සිටින බවට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර ඇති බවත්, එය “නොසිතිය හැකි මට්ටමේ මානුෂීය අර්බුදයක්” ලෙස හඳුන්වමින් “එය වහාම නතර කළ යුතුයි” යනුවෙන් ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇති බව CNN සහ Reuters පුවත් සේවය වාර්තා කරයි.
ඉරානය තුළ පැවැත්වෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මර්දනය කිරීමට ආරක්ෂක බලකායන් දැඩි ලෙස බලය යොදවන බවට තොරතුරු වාර්තා වන පසුබිමක ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකර ඇති අතර, මෙවැනි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හමුවේ ඇමරිකාව නිහඬව නොසිටින බවට ද ඔහු ඉඟි කර තිබේ.
ඇමරිකාව සහ ඉරානය අතර මැදපෙරදිග කලාපීය සහ හමුදාමය නොසන්සුන්තාව ඉහළ ගොස් ඇති මොහොතක ට්‍රම්ප් නිකුත් කළ මෙම ප්‍රකාශයත් සමඟ දෙරට අතර පවතින උපායමාර්ගික අර්බුදය තවදුරටත් තීව්‍ර වීමේ අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















