ඉරාන යුද්ධය ඉතා සාර්ථකව ඉදිරියට යන බවත් එය “ඉතා ඉක්මනින් අවසන් විය යුතු” බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. නෙවාඩා (Nevada) හි පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර, එල්ල වන රොකට් ප්‍රහාර සාර්ථකව මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු හමුදාවට සිය ප්‍රශංසාව ද එක් කළේය.
පසුගිය සති අන්තයේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී ඇමෙරිකාව, ඉරානය සහ මැදිහත්කරුවන් අතර පැවැති සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වුවද, යුද්ධය නිමා කිරීමේ බලාපොරොත්තුව ට්‍රම්ප් පාලනය අත්හැර නොමැති බව පෙනී යයි. දෙවැනි වටයේ සාම සාකච්ඡා සඳහා මේ වන විටත් සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්, නමුත් ඒ සඳහා නිශ්චිත වේලාවක් හෝ ස්ථානයක් තවමත් තහවුරු කර නොමැති බවත් ධවල මන්දිරය සඳහන් කරයි. මැදපෙරදිග කලාපයේ පවතින මෙම යුද වාතාවරණය ලෝක ආර්ථිකයට මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති මොහොතක ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව තිබේ.














